Latestදේශීය

කුකුළ් මස් සහ බිත්තර වලින් රට ස්ව්‍යංපෝෂිතයි

මේ වනවිට රට තුළ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටමට පැමිණ ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (10) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මේ වනවිට රටේ දෛනික බිත්තර නිෂ්පාදනය මිලියන 07-08 දක්වා ඉහළ ගොස් ඇති බවත් දෛනික බිත්තර පරිභෝජනය ද ඊට සමාන ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බවත් දෛනිකව රටට අවශ්‍ය බිත්තර සමස්ත ප්‍රමාණයම රට තුළ නිපදවීමට හැකිවී ඇති බැවින් අද වන විට බිත්තර මිල ගණන් රුපියල් 38-42 දක්වා වූ මට්ටමට අඩු වී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම කුකුළු මස් නිෂ්පාදනය ද ඉහළ ගොස් ඇති අතර මේ වනවිට රට තුළ කුකුළුමස් අතිරික්ත නිෂ්පාදනයක් දක්වා වර්ධනය වී තිබේන බව කී අමාත්‍යවරයා,  දෛනික කුකුළු මස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 500ක් පමණ වුවද, දෛනික කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 600ක් දක්වා ඉහළ ගොස් තිබේන බවද සඳහන් කළේය.

පසුගිය කොවිඩ් සමයේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව කුකුළු ගොවිපොළ 3000ක් පමණ වැසී ගිය ද මේ වනවිට එම කුකුළු ගොවිපළවල් සියල්ල ද නැවතත් සක්‍රියව පවතින බවත් එමෙන්ම සියලු කුකුළු ගොවිපොළවල උපරිම ධාරිතාවයට කුකුළු පැටවුන් යොදා ඇති බැවින් දෛනික කුකුළු මස් නිෂ්පාදනයේ සීග්‍ර වර්ධනයක් වී ඇති බවද මෙහිදි කරුණු අනාවරණය විය.

මීට මාස කිහිපයකට පෙර රුපියල් 65ක් දක්වා වැඩි වූ බිත්තර මිල රුපියල් 38-42 දක්වා අඩුවීම මෙන්ම කුකුළු මස් කිලෝව රුපියල් 1750 සිට මේ වනවිට රුපියල් 850-975 දක්වා ප්‍රමාණයට අවම වී තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

2022න් පසු රජය විසින් කුකුළු නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග හේතුවෙන් කුකුළු මස් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

කෙසේ වුවද පසුගිය කාලයේ බිත්තර මිල ඉහළ නැංවීමට ව්‍යාපාරික ප්‍රජාව කටයුතු කිරීම නිසා බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කරනු ලැබීය. නමුත් ව්‍යාපාරික ප්‍රජාව තම හිතුමතයට බිත්තර මැලි වැඩි කිරීමට කටයුතු නොකරන්නේ නම් බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *