Latestදේශීය

උද්දච්ච ජනාධිපති සහ ඇමති නිසා වන්දි ගෙවන්න වෙන්නේ නිලධාරියාට – චම්පික රණවක

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට වීසා නිකුත් කිරීමේ ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර (ETA) ක්‍රමය හැසිරවීමට පුද්ගලික ආයතන මිලදී ගැනීමේ දී නිලධාරීන් විසින් ක්‍රියා පටිපාටි උල්ලංඝනය කිරීම් සහ මහජන විශ්වාසය අනිසි ලෙස භාවිතා කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (13) සළකා බැලිණ.

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සහ විදේශගත වීසා මෙහෙයුම්වලට අදාළ අනුමැතිය ලබාදීමේ කැබිනට් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ආගමන විගමන පාලක ජනරාල්වරයාට එරෙහිව චෝදනා ගොනු කිරීමට පාඨලී චම්පික රණවක, රාවුෆ් හකීම් සහ එම්.ඒ. සුමන්දිරන් යන මන්ත්‍රීවරුන් කටයුතු කළ අතර, එම චෝදනා අධිකරණ විනිසුරුවරුන් විසින් පිළිගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා;

“ආගමන විගමන පාලකවරයා විසින් උසාවියට දැනුම් දීලා තිබුණා ඔහුට අගෝස්තු 02 වෙනිදා ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට තිබෙන තාක්ෂණික හා නීතිමය අපහසුතාවයන් පිළිබඳව. ඉපෙත්සම්කරුවන් හැටියට මමත්, එම්. ඒ. සුමන්දිරන් මහත්මයත්, රවුෆ් හකීම් මහත්තයත් අපේ පෙත්සම් වෙනුවෙන් පෙනී හිටියා. ගරු අධිකරණය විසින් මේ පිළිබඳ විමසීමක් කරලා, කැඳවීමක් කළා අද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට, ආගමන විගමන පාලකවරයා මේ වන විට රටින් බැහැරව ගිහින් තිබෙන බව ප්‍රකාශ වුනා. ඔහු නැවත පැමිණෙයිද, කොහොමද කියන්න අපි නම් දන්නේ නැහැ. නමුත් ඔහු ලබන 21 වෙනිදා නැවත පැමිණෙන බව තමයි නීතිපතිවරයා අධිකරණයට ප්‍රකාශ කළේ. කෙසේ නමුත් අධිකරණය අදාළ පාර්ශව සියල්ලේම අදහස් විමසීමෙන් පස්සේ නිගමනයකට ආවා මේ පිළිබඳ විභාගයක් කරන්න නැවත වතාවක් අපි විසින් ආගමන විගමන පාලකවරයාට එරෙහිව මේ නියෝගය ක්‍රියාත්මක නොකිරීම ගැන. උසාවියට අපහාස කිරීමේ පදනම මත අප විසින් එයට අදාළ චෝදනා පත්‍ර උසාවියට භාරදීමට නියමිතයි. ඒ වගේම ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් මෙහි පැමිණි ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියා කිව්වා නිවැරදිව ක්‍රියාත්මක කළා නම් මාස දෙකක් ඇතුළත තියෙන තාක්ෂණික දුර්වලතා මගහැර ගැනීමට හැකිව තිබුණායි කියලා. දැනට මාස එකහමාරක් ගිහිල්ලා තියෙනවා මේ සිද්ධිය සම්බන්ධයෙන්.

අපි කවුරුත් දන්නවා මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. උසාවි නියෝග නොතකන, උද්දච්ච ජනාධිපතිවරයෙක් හා, උද්දච්ච ඇමතිවරයෙක්. දැන් මේවයේ වන්දිය අවසානයේ ගෙවන්න වෙලා තියෙන්නේ, මේවා ක්‍රියාත්මක කිරීමට යන මේ නිලධාරීන්. මේක හැම නිලධාරියාටම ඉතාමත්ම බලගතු ආදර්ශයක් වෙයි. මේ ගරු අධිකරණය විසින් ගත්ත තීරණය. ඒක නිසා සියලුම නිලධාරීන් මේ උද්දච්ච, ජනාධිපතිවරයාගේ, උද්දච්ච, ඇමතිවරුන්ගෙයි අධිකරණය නොතකා හරින ක්‍රියාමාර්ග පිළිබඳ මීට වඩා තමන් ගැන සැලක විය යුතු බව අපි විශ්වාස කරනවා.

මෙවැනිම අපරාධයක් සිදු කරමින් යනවා ඊ පාස්පෝට් සිදුවීම සම්බන්ධයෙන්. මේකමයි ක්‍රියාමාර්ගය. මේ විදිහෙම බරපතල වංචාවක් සිදු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද ඊ පාස්පෝට් ලබාදෙන බව ප්‍රකාශ කරලා අද කිසිම එකක් නැති තත්වයට පත්වෙලා ජනතාව පීඩා විඳින්නේ. ඒ වගේම ජනතාවට අධික මිලට එතන ඒ පාස්පෝර්ට් මිලදී ගැනීමේ කළු පාතාලයක් ගොඩනගනවා මේ ජනාධිපතිත්, මේ ඇමැතිත්.

මීට සමාන ක්‍රියාවලියක් විගමනික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන්න යනවා. මේ විදිහටම අන්සොලිසිටඩ් ප්‍රපෝසල් එකක් මගින්. විගමනික ශ්‍රමිකයන්ගේ දත්ත තොරතුරු විදේශ සමාගමකට පැවරීමට අදාළ අමාත්‍යාංශය ක්‍රියා කරගෙන යන බව අපිට වාර්තා වෙලා තියෙනවා. කැබිනට් පත්‍රිකා දාලා තියෙනවා. ඒ හරහාත් ඩොලර් සීයක් පමණ විගමනික ශ්‍රමිකයන්ගෙන් ගසා කෑමේ උත්සාහයක් තියෙනවා. ඉතින් මේ තමයි රනිල් වික්‍රමසිංහගේ ‘පුළුවන්’ කණ්ඩායම. මේ රටේ ජනතාවට බදු බර පටවලා, ඒ වගේම මෙවැනි වංචාවල බර පැන පටවලා, සංචාරකයින් රටට පැමිණීම සම්පූර්ණයෙන්ම අධෛර්යමත් කරලා, රටේ දේශසීමාව විදේශිකයන්ට පවරා දීලා, සිදුකරගෙන යන මේ දූෂණ ක්‍රියාවලිය තමයි රනිල් වික්‍රමසිංහගේ ‘පුළුවන්’ ක්‍රියාවලිය. ‘පුළුවන් ශ්‍රී ලංකා’ ඒක තමයි, අනෙක් ජනතාවට නම් මේ සියල්ලම බැරිවෙලා තමයි අද තියෙන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා, ලබන 21 වෙනිදා ඒ ජනතාවට පුළුවන් ලංකාවක් ගොඩනගන්නත් ජනතාවට බැරි කරලා තමන්ගේ දූෂිත කල්ලි කණ්ඩායම්වලට ‘පුළුවන්’ කරපු අයට අධිකරණය ඉදිරියේ අනාගතයේ වගඋත්තරකරුවන් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියට යන්න.”

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *