Latestදේශීය

පළමු වතාවට රට පොහොසත් කරන ජනතාවගේ ජීවිත ලස්සන කරන ආණ්ඩුවක් හදනවා – අනුර දිසානායක

දේශපාලනය කියන්නේ ගෞරවනීය වෘත්තියක්, ගෞරවනීය සේවයක් කියලා, ජනතාවට ඒත්තු ගැන්වෙන විදිහට රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊයේ (15) නාවලපිටියේ පැවති රැලියට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා,

2019 මැතිවරණයෙන් පසුව අපි දැඩි පසුබෑමකට ලක්වුණා. ඒත් විවිධාකාරයේ රැවටීම්වලට භාජනය කරපු ජනතාව අනිවාර්යයෙන්ම මේක තේරුම් ගන්නා බවටත් එය තේරුම් අරගෙන ජාතික ජන බලවේගය වටා ඒකරාශී වන බවටත් අපිට දැඩි විශ්වාසයක් තිබුණා. ඒ අනුව අපි පසුගිය වසර දෙක තුනක කාලයක් ඉතා සැලසුම් සහගත දේශපාලනයක නියැලුණා. අපේ විරුද්ධ පාර්ශ්ව පැරණි දේශපාලනයේම නියැලුණා. හොරකම් කරමින් මහජනයාගේ ධනය නාස්ති කරමින් නීති කඩමින් ව්‍යවස්ථා උල්ලංඝනය කරමින්, උසාවි නියෝග ඉවත දමමින්, ත්‍රාඩ විධියට රට පාලනය කරගෙන ඇවිල්ලා ඒ ගොල්ලෝ හිතුවා ඡන්ද කාලයේදී ජනතාවට මෙනවා හරි බෙදලා, ජනතාව බිය වද්දලා විවිධ වර්ගයේ බොරු පොරොන්දු දීලා සුපුරුදු පරිදි බලය ගන්න පුළුවන් කියලා ඔවුන් හිතුවා. අපි රට පුරා යමින් ජනතාව පෙළගැස්සුවා. සංවිධානය කරනමින් ආවා. ඒ ගොල්ලන්ට හිතා ගන්නවත් බැරි පන්නයේ මැතිවරණ ව්‍යාපාරයක් ජාතික ජන බලවේගය දියත් කළා.

මහනුවර දිස්ත්‍රික්කයේ රැස්වීම් ගණනාවක් අපි පැවැත්වුවා. අපේ සහෝදර සහෝදරියන් ගමක් ගාණේ ගිහිල්ලා ජනතාව දැනුවත් කළා. ජාතික ජන බලවේගයේ මේ නැගිටීම හා පිබිදීම ගැන අපේ විරුද්ධ පාර්ශ්වවලට හිතා ගන්න බැරිවුණා. දැන් ඒ ගොල්ලන්ගේ එකම ප්‍රයත්නය අපිට විරුද්ධව අවලාද අසත්‍ය තොරතුරු වැපිරීම හා කුමන්ත්‍රණ දියත් කිරීමයි. නමුත් සජිත් ප්‍රේමදාසට හෝ රනිල් වික්‍රමසිංහට අපේ නැගිටීම, වැළැක්වීම සඳහා කළ හැකි කිසිවක් නොමැති බව දැන් හරිම පැහැදිලියි. මේ 21 වැනිදා අපේ ජයග්‍රහණය ලංකා දේශපාලනයේ විශාල හැරවුමක්. දශක ගණනාවක් තිස්සේ අපේ රටේ පුරවැසියාගේ තිබුණු බලාපොරොත්තුවක්. මේ රටේ ජනතාව දීර්ඝ කාලයක් මැතිවරණවලට සහභාගි වුණාට තමන්ගේ අපේක්ෂාවන්, අරමුණු ඉටුකර ගත හැකි පාලනයක් ගොඩනගා ගන්න ඔවුන් අසමත් වුණා.

නායකයෝ පරාජය කරනවා, නැවත ගේනවා. ආණ්ඩු පරාජය කරනවා, නැවත ගේනවා. දැන්වත් මේ පාලකයෝ හැදිලා ඇති කියලා හිතනවා. අවසානයේ ජනතාව හෙම්බත් වුණා. ප්‍රතිඵලයක් වුණේ නැහැ නේද? අපේක්ෂා සියල්ල බිඳ වැටුණා. රට බංකොලොත් වුණා. ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයක් ඇති වුණා. දරුවන් රට දාලා යන්න පටන් ගත්තා. ඉස්පිරිතාලවල බෙහෙත් නැති වුණා. අධ්‍යාපනය කඩා වැටුණා. මත්ද්‍රව්‍ය, අපරාධ පැතිරුණු රාජ්‍යයක් නිර්මාණය වුණා. ජනතාවගේ ඇස් ඉදිරිපිට මේ විනාශය චිත්‍රයක් වගේ ඇඳෙන්නට පටන් ගත්තා. ජනතාව මේ ව්‍යසනයෙන් ගැලවෙන්නෙ කවදාද කිය කියා අපේක්ෂාවෙන් හිටියා. අන්න මේ 21 වැනිදාට ඒ අපේක්ෂාවන් ජයග්‍රහණය කර ගත හැකි දිනය උදාවෙලා තිබෙනවා. අපේ රටේ අලුත් ආණ්ඩුවකින් ප්‍රධාන කාර්යයන් දෙකක් ඉටු කළ යුතුව තිබෙනවා. අපේ රට කඩා වැටීමට හේතු වුණු කාරණා කිහිපයක් තිබෙනවා. එකක් තමයි අපේ රටේ මෙම දූෂිත දේශපාලන සංස්කෘතිය. දෙක තමයි අපි මේ රටේ අනුගමනය කරමින් තිබෙන විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිය.

මේ රට හදන්න නම් පළමුව මේ කැත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. මෙහේ ඉන්න මහින්දානන්ද 2019දී මේ නාවලපිටියේදීම රනිල්ව වේදිකාවල පට්ටා ගැහුවා. ඒ මහින්දානන්ද දැන් කියනවා රනිල් තමයි ගැලවුම්කාරයා කියලා. මේ ප්‍රතිපත්තියක් නැති, කැත දේශපාලනය අපි අවසන් කරන්න ඕනෑ. ගිය සතියේ ගීතා රනිල්ව වර්ණනා කරනවා. මේ සතියේ එයා සජිත්ව වර්ණනා කරනවා. මොන දේශපාලනයක්ද මේක. මීට අවුරුදු කිහිපයකට කලින් අනුරාධ ජයරත්නලා, මහින්ද රාජපක්ෂට අප්පච්චි කියනවා. දැන් රනිල්ට අප්පච්චි කියනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ කැත දේශපාලන පිටිය සුද්ද කරන්න පටන් ගන්නවා. පැන්නොත් මන්ත්‍රීකම අහෝසියි. පාර්ලිමේන්තුව විසුරුවලා මාස එක හමාරකින් වගේ කාලයක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය තියනවා. ජනාධිපතිවරණයකින් අපට රනිල්ව ගෙදර යවන්න පුළුවන්. ඕන නම් සජිත්ව විපක්ෂ නායක හැටියට තියන්නත් පුළුවන්. පාර්ලිමේන්තුව විසුරුවට පස්සේ එය සුද්ද කිරීමේ බලය ජනතාව අතට එනවා. මේ වගේ පාර්ලිමේන්තුවක් රටට ඕන නැහැ. සකලවිධ අපරාධකරුවන් පිරුණු මේ වගේ පාර්ලිමේන්තුවක් රටකට මොකටද? ජනාධිපතිවරණයෙන් පස්සේ අපි පාර්ලිමේන්තුව විසුරුවලා දෙන්නම්. ඔබ පල් හොරු රැළ ස්ථිරවම ගෙදර යවලා ඒක සුද්ද කරලා දෙන්න. අපට විශ්වාසයි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අයගෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් ලබන පාර්ලිමේන්තුවේ නැහැ.

මහ මැතිවරණයෙන් පස්සේ අපි රටට ඵලදායක පාර්ලිමේන්තුවක් හදනවා. නීති රීති ශක්තිමත් කරන මහජන දේපොළ හොරකම් කළ අයට නීත්‍යානුකූලව අනිවාර්යයෙන්ම දඬුවම් ලබාදෙනවා. මහජන ධනය නාස්ති කිරීම නතර කරනවා. දේශපාලකයා පොදු නීතියට යටත් කරනවා. අපේ පාලනයක් යටතේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා අවශ්‍ය ආයතන පද්ධතිය ශක්තිමත් කරනවා. අපේ පාලනයක් යටතේ මේ රටේ පොලීසිය, හමුදාව දේශපාලකයන් ඉදිරියේ බාල්දු වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. පොලීසියේ මහත්වරුන්ගේත් රටේ හා ජනතාවගේත් ආරක්ෂාව හැදුවොත් අපිත් ආරක්ෂා වෙනවා. එතකොට වෙනම ආරක්ෂාවක් අපට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පාලකයන් කරන්නේ, රටත් ජනතාවත් අත්හැරදාලා අනාරක්ෂිත කරලා ඒ ගොල්ලෝ වටේ ආරක්ෂක වළලු දාගන්න එක. අපි මේක නතර කරනවා.
දේශපාලනය කියන්නේ ගෞරවනීය වෘත්තියක්. ගෞරවනීය සේවයක් කියලා, ජනතාවට ඒත්තු ගැන්වෙන විදිහට අපි මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. දැන් දේශපාලකයා කොහොමද ඇඟපුරා රත්තරන් පොරවා ගෙන ජැන්ඩියට ඇඳලා සැප වාහනවලින් ඇවිත් බහිනකොටම ජනතාව දන්නවා, මේ එන්නේ පට්ට හොරෙක් කියලා. ඒගොල්ලන්ගේ ජීවිත ගැන ජනතාව දන්නවා. මොනතරම් ධනය උපයා ගත්තත් ඒ කොහොමද කියලා ජනතාව දන්නවා. ඒ නිසා ඒ දේශපාලකයන් ගැන රටේ තිබෙන්නේ කැත අදහසක්. අපි සැප්තැම්බර් 21දා සිට මේ නිර්ලජ්ජිත දේශපාලනය වෙනස් කරන්නට පටන් ගන්නවා. අපේ රටේ මේ තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය වැරදියි. ඒක වෙනස් කරන්න ඕනෑ. මේ ආර්ථික ප්‍රතිපත්තිය හොඳයි නම් මේ වන විට අපේ රට දියුණු කරලා තිබන්න ඕනෑ. මේ ආර්ථික ප්‍රතිපත්තිය දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටට ගෙනාවේ භයානක ප්‍රතිඵල.

අපේ රටේ ආර්කථියට ජනතාව සම්බන්ධ වෙන්න ඕනෑ. අද විශාල පිරිසක් අපේ රටේ ආර්ථිකයෙන් පිටමං කරලා තිබෙන්නේ. ජනතාව ආර්ථිකයට සම්බන්ධ වෙන්න ඕනෑ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි දියුණු වෙන්න ඕනෑ. ඒකේ ප්‍රතිඵල සාධාරණ ලෙස පෙරළා ජනතාවට ගලාගෙන යන්න ඕනෑ. මූලධර්මය ඒකයි. රටේ හැම පෙදෙසකම භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට පණ දෙන්න ඕනෑ. දැන් එය මුළුමනින්ම වට්ටලා තිබෙන්නේ. මේ පාලකයන් අපේ රටේ හැදුවේ කුඩා හෝ නිෂ්පාදනයක් තිබුණා නම් එය වට්ටලා මුළුමනින්ම බඩු ආනයනය කරන ආර්ථිකයක්. ඉන්දියාව රෙදි නිෂ්පාදනය කරනවා. අපි ගේනවා අඳිනවා. ඉන්දියාව බිත්තර නිෂ්පාදනය කරනවා. අපි ගේනවා, බදිනවා. ඉන්දියාව බයිසිකල් හදනවා, ත්‍රීවිලර් හදනවා. අපේ ගේනවා, පදිනවා. මොකද කළේ. ඒගොල්ලෝ හදනවා, අපි බුදිනවා. අපි හදමින් තිබුණු දේවල් පවා කඩා බිඳ දැම්මා.

දැන් රනිල් කියනවා එයා ඇවිල්ලා අපනයන ආර්ථිකයක් හදනවාලු. අනේ රනිල් ඔයගොල්ලෝ තමයි අපේ රටේ නිෂ්පාදනය ආර්ථිකය වැට්ටුවේ. අනේ රනිල් කොයි කාලේ ඉඳලාද ඔයා අපනයන ආර්ථිකය හදන්නේ. ඔන්න ඔහේ පැත්තකට වෙලා ඉන්න රනිල්. වට්ටන්න පුළුවන් ඔක්කෝම වට්ටලා දැන් මංඤ්ඤං කියනවා. බඩු ගෙන්නුවොත් රටට පාඩුයි, ඇමතිට ලාභයි. එයාට ලාභ ඇයි? කොමිස් කුට්ටිවලින්. ලංකාවට පොහොර ගෙනාවා. ඇටයක්වත් ගේන්නත් කලින් රටට රුපියල් කෝටි දශලක්ෂ 1800ක් පාඩුයි. ඔන්න රනිල්ගේ අපනයන ආර්ථිකය. අපි මේ බඩු ගෙන්වන ආර්ථිකය වෙනුවට අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් හැම භාණ්ඩයක් හා සේවාවක්ම නිෂ්පාදනය කරන, නිෂ්පාදන ආර්ථියක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් ගොඩනඟනවා.

අපි දැනට තෝරාගෙන තිබෙනවා අපේ රටේ ඉක්මනින්ම නිෂ්පාදනය ගොඩනඟන්න පුළුවන් තැන් ටික. ඒවාට අවශ්‍ය සැලසුම් අපි හදලා ඉවරයි. ඊට එහා ගිය නිෂ්පාදන කර්මාන්තවලට පණ පොවන්න කාලයක් අවශ්‍යයි. ඒවාට අදාළ මධ්‍යකාලීන හා දිගු කාලීන සැලසුම් අපි හදලා ඉවරයි. මෙතෙක් කල් ආපු හැම ආණ්ඩුවක්ම සැලසුම් හැදුවේ ඒ ගොල්ලන්ගේ පවුල්, ඥාතින්, හිතවතුන් පොහොසත් වෙන විදිහට. අපි පළමු වතාවට ආණ්ඩුවක් හදනවා රට පොහොසත් කරන්න. ජනතාවගේ ජීවිත නංවාලන්න. ජනතාවට ලස්සන ජීවිතයක් උරුම කරලා දෙන්න. අපි ඔක්කෝම එකතු වෙලා සැප්තැම්බර් 21 දාට ජාතික ජන බලවේගය දිනවමු. ඊළඟට අපි ඔක්කෝම එකතු වෙලා මේ රට ගොඩනගමු, කියලා අපි මේ රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *