Latestදේශීය

මේ පැරණි අසාර්ථක පාලකයන් පැත්තක තියලා අපි ඔක්කෝම එකතු වෙලා නව පාලනයක් ගොඩනගමු – අනුර දිසානායක

මාලිමාවට ඡන්දය දෙන සියලු ඡන්දදායකයින්ගේ අභිමානය ආරක්ෂා කරන පාලනයක් ඇති කරන බව අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊයෙ(19) නුගේගොඩ පැවති අවසන් ජනාධිපතිවරණ රැලියට එක්වෙමින් ඔහු මෙම අදහස් පලකළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා,

මේ මැතිවරණය සහතික ලෙසම අපි ජයග්‍රහණය කරනවා. අපි ඉතාම සැලසුම් සහගත ලෙස මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවමින් අද මෙතනට පැමිණිලා තිබෙනවා. ඒ වගේම අපේ ජයග්‍රහණයෙන් පසු මේ රට ගොඩනැගීම සඳහා දායක කරගත හැකි බලවේග, පුද්ගලයන් අපි කලින්ම හඳුනාගත්තා. එක පැත්තකින් මේ රටේ සියලු ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තියවේදීන් සමග කතාබහ කරමින්, ඔවුන් එකතු කරමින් ඒ ඒ ක්ෂේත්‍ර ගොඩනැගීම සඳහා අපි වැඩපිළවෙළ අපි හැදුවා. ඒ වගේම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සමග විශාල මෙහෙයුමක් කරලා අපි අදිටන නමින් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය නිර්මාණය කළා. ඒ වගේම විශ්‍රාමික හෙද නිලධාරීන්ගේ සාමූහිකය අපි ගොඩනැගුවා. ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, මිනින්දෝරුවන්, නීතිඥවරුන් මේ ආදී විවිධ ක්ෂේත්‍රවල කණ්ඩායම් අපි එකතු කළා. ඒ විතරක් නොවෙයි, ගම්වලට ගිහිල්ලා කොට්ඨාස සභා හදලා, කාන්තා සභා හදලා සමුළු පවත්වා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට අඩිතාලම දැම්මා. මේ රටේ ජනතාව මේ ජයග්‍රහණය අපිට ගෙනත් දෙන බව අපි තදින්ම විශ්වාස කළා. ඒ ගොල්ලෝ රාජ්‍ය බලය යොදාගෙන ඡන්ද දිනන්න පුළුවන් කියලා කල්පනා කළා. තැපැල් ඡන්දය සැප්තැම්බර් 04,05,06 තියාගෙන රනිල් වික්‍රමසිංහ තුන්වැනිදා පඩි වැඩි කරන්න කතා කළේ ඒ නිසයි.
මේ 21 වැනිදා මේ රටේ ජනතාව ජාතික ජන බලවේගයට බලය දෙනවා. ඔබගේ ඡන්දයට ඉතිහාසයේ ප්‍රථම වතාවට නියම වටිනාකම ලැබෙන්න අන්න එදාට. එදායින් පසු ඔබ මාලිමාවට ඡන්දය දුන්නාය කියන අභිමානයෙන් ඔබට මේ සමාජය තුළ හැසිරෙන්න පුළුවන්. කොන්ද කෙලින් තියාගෙන මේ සමාජයේ ජීවත් වෙන්න පුළුවන්. මීට පෙර ඡන්දය දුන්නහම ටික කාලයක් ගිහිල්ලා ඒ ජනතාව ලැජ්ජාවට පත්වෙනවා. 2019 දී ගෝඨාභය රාජපක්ෂට ඡන්ද 69 ලක්ෂයක් ලැබුණා. මාස කිහිපයක් යනකොට ඔබ ගෝඨාභයටද ඡන්දෙ දුන්නේ කියලා අහන එකත්, ඔබට අවඥාවට කාරණයක් වුණා. මහත් බලාපොරොත්තු තබාගෙන බලයට පත්කරපු පාලකයෝ බලයට පත්කිරීම සඳහා උර දුන්නු ඔබව ලැජ්ජාවට බවට පත් කළා. ජනතා මතයට පිටුපෑවා. 2015 දීත් එහෙමයි. එම මැතිවරණය තමයි ලංකා ඉතිහාසයේ දූෂණ, වංචා පිළිබඳව වැඩියෙන්ම සාකච්ඡාවට බඳුන් වූ මැතිවරණය. මෛත්‍රීපාල සිරිසේන කිවුවා ඔහු බලයට පත්වූ ගමන් එයාර් පෝර්ට් එක වහනවා කියලා. ඒ 2019 ජනවාරි 08 දා. නමුත් දින 50යි ගියේ, පෙබරවාරි 28 මහ බැංකුව කොල්ලකෑවා. ඡන්දය දීපු ජනතාව මුළුමනින්ම අසරණභාවයට පත්වුණා. ආවේ හොරු අල්ලන්න නේද? ඒ වුණාට ඔය ගොල්ලන්ගේ ලොක්කා මහා බැංකුවට ගහලා නේද කියා මිනිස්සු ඡන්දය දීපු අයට සමච්චල් කළා. ඔවුන් අසරණ වුණා.

මේ සැප්තැම්බර් 21 වැනිදා මේ රටේ ජනතාව මහත් බලාපොරොත්තු සහිතව ජාතික ජන බලවේගයට බලය දෙනවා. අපි ඔබට සහතිකයක් දෙන්නම්, ඔබ ජාතික ජන බලවේගයට ඡන්දය දීම ලැජ්ජාවට හෝ අසරණභාවයට පත්වෙන කාරණයක් බවට පත්වෙන්නේ නැහැ. අපි ඔබට සහතික වෙනවා දශක ගණනාවකට පසුව හරි සැප්තැම්බර් 21 වැනිදා ඡන්දය දුන්නේ මාලිමාවට කියලා ඔබට ආඩම්බරයෙන් කියන්න පුළුවන් විදිහට, අපි ගැන තබපු විශ්වාසය අපි තහවුරු කරනවා. සමහරු කියනවා ජාතික ජන බලවේගය වටා ජනතාව එකතු වෙලා ඉන්නේ කෝපයට, වෛරයට කියලා අනෙක් පක්ෂ ගැන තිබෙන කලකිරීමට කියලා. ඔව්. ආරම්භය ඒක තමයි. දේශපාලන ව්‍යාපාරයකින් යම් කණ්ඩායමක් ගැලවෙන්න ආරම්භයේදී විවිධ හේතු හදනවා. ආරම්භයේදී ගොඩක් දේශපාලන කරුණුවලට එන්නේ නැහැ. ආරම්භයේදී එහෙම වුණාට ඔබ අපිව ජයග්‍රහණය කරවන්න සැබෑ හේතු වන්නේ, මේ රට පිළිබඳවත්, රටේ පුරවැසියා පිළිබඳවත් ඔබේ බලාපොරොත්තුවයි. ඒ පිළිබඳව අනාගතයේ මවන සිහිනය තමයි, ඔබ අපිව බලයට ගෙන ඒම සඳහා පාදක කර ගන්නේ. මෙය කෝපයේ හෝ වෛරයේ ඡන්දයක් නොවෙයි. අපේක්ෂාවේ ඡන්දයක්. ඔබ දකින සිහිනය, අපේක්ෂාව ගැන ජාතික ජන බලවේගයට අත්හළ නොහැකි වගකීමක් තිබෙනවා. අපි එය ඉටුකරනවා.

1818 නැගිටීමේදී අපේ මුතුන් මිත්තන්ට අරමුණක් තිබුණා. එය අසාර්ථක වුණා. 1848 දීත් එහෙමයි. 1948 නිදහස ලැබීමේදීත් එහෙමයි. රටේ ජනතාව විවිධ අවස්ථාවල යහපත් රටක් වෙනුවෙන්, යහපත් ජීවිතයක් වෙනුවෙන් සටන් වැදුණා; අරගල කළා, ඒත් ඒවා අපිට ජයග්‍රහණයෙන් කෙළවර කර ගන්න බැරි වුණා. සියවස් ගණනාවක් අපි දුටු සිහිනේ තමයි ඒක. මේ සැප්තැම්බර් 21 වැනිදා සියවස් ගණනක් අපේ පරම්පරා ගණනාවක් දුටු සිහිනය ජයග්‍රහණයෙන් කෙළවර කරන බවට අපි ඔබට සහතික වෙනවා. ලංකාවේ විවිධ කාලවල විවිධ ආණ්ඩු හැදුණා. ඒ හැම ආණ්ඩුවක්ම ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ජාතිවාදය, ආගම්වාදය, ගෝත්‍රිකවාදය උපයෝගී කර ගත්තා. නමුත් අපි ජාතික සමගියට පණ පොවමින් මේ ජයග්‍රහණය කරා ළඟාවෙමින් ඉන්නවා. මේ අවසන් රැස්වීමේදී කියන්න, හිටියේ නැතත් අපේ රටේ දේශපාලන පොරපිටියේ ඒ ජාතිවාදය, ආගම්වාදය තුරන් කිරීම සඳහා මෙයම යම් ප්‍රමාණයකට හෝ එය අවධාරණය කළ යුතු යැයි කල්පනා කළා.

ඔබ දකින්නට ඇති සජිත් ප්‍රේමදාසගේ මුළු මැතිවරණ වේදිකාවේම දියත් වුණේ යළි ජාතිවාදය, ආගම්වාදය, අවුළුවන සටන් පාඨ මුල් කරගෙන. ඔවුන් ඒවා ඉතාමත් කැත, නින්දිත විදියට අපිට විරුද්ධව පාවිච්චි කළා. ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාර එතරම්ම පහත් තැනකට වැටුණා. සජිත්ගේ සිංහල නායකයෝ එයාගේ වේදිකාවේ ඉඳගෙන මෙහෙ සිංහල ජාතිවාදය, ආගම්වාදය අවුස්සන්න හදනකොට උතුරු නැගෙනහිරට ගිය සජිත්ගේ මුස්ලිම් නායකයෝ මුස්ලිම් ජාතිවාදය, ආගම්වාදය අවුස්සන්න උත්සාහ කළා. නමුත් ඒ සියල්ල ව්‍යවර්ථ කරමින් ජාතික ජන බලවේගය මේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඉදිරියටම ගියා. අද අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා. ඒ නිසා මේ රටේ අධ්‍යාපනය විධිමත් කළ යුතුයි. ඊට විධිමත් පරිවර්තනයක් අවශ්‍යයි. අපේ පාලනයක් යටතේ අපි දරුවන්ටත්, මව්පියන්ටත් බරක් නොවෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගීමට දියුණු සැලැස්මක් සකසා තිබෙනවා.

ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම සඳහා අපි සැලසුම් හදා තිබෙනවා. සජිත් කියනවා එයා බලයට ආපුවහම රෑට රෑට ගෙවල්වලට ගිහිල්ලා එබිලා බලනවලු. මම කියන්නේ ඒ වගේ නායකයෙක් මේ ජාතිවාදී මඩ ගොහොරුවේ එරෙන්නේ නැතිව වෙන මොනවා කරන්නද? අපිට එක සතුටක් තිබෙනවා. අපි මේ ඡන්ද ව්‍යාපාරය පටන් ගන්නා විට අපිට ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් තිබුණා. අද වන විට දකුණේ පමණක් නොවෙයි. උතුරු, නැගෙනහිර, කඳුකරයේ දෙමළ, මුස්ලිම් ජනතාවත් දස දහස් ගණනින් ජාතික ජන බලවේගය ගැන විශ්වාසය තබමින් අප දිහා බලාපොරොත්තුවේ දෑස් දල්වාfාගන බලා සිටිනවා. ඒ පැතිවල මැතිවරණ ප්‍රචාරක කටයුතු දියත් කිරීමේදී අපි එය හොඳින්ම දුටුවා. මට ඊයේ පෙරේදා උතුරේ වැඩකරන අපේ සහෝදරවරු පිරිසක් හමුවුණා. ඔවුන් කිවුවා අපි හිතුවට වඩා උතුරේ ජනතාවත් අපි කෙරෙහි විශ්වාසය තබා බලාපොරොත්තුවේ දෑස් දල්වා ගෙන බලන් ඉන්නවා කියලා.

මෙවන් බල හුවමාරුව හුදු නායකයෙක් අනිත් නායකයෙකුට ආණ්ඩුවකින් ආණ්ඩුවකට මාරුවෙන එකක් නොවෙයි. මේ සිද්ධ වෙන්න යන්නේ අපේ රටේ දේශපාලන, සාමාජ, ආර්ථික දේහයේ විශාල පරිවර්තනයක්. ඒ පරිවර්තනය යනු දිග පියවරයන්. හැබැයි ඒ හැම දිගු ගමනකටම ආරම්භක පියවරක් අවශ්‍යයි. ඒ දිගු ගමනේ ආරම්භක පියවර වන්නේ, අපේ රටේ පොදු ජනයාගේ පාලනයක් පිහිටුවීමට පළමු වතාවට අඩිතාලම දමන්නේ මේ සැප්තැම්බර් 21දායි. ඉන්පසු අපි මේ රට පියවරෙන් පියවර ගොඩනැගීමට පටන් ගන්නවා. මේ රටේ දේශපාලකයන් සිදුකරන ලද කිසිම අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටවෙන්න ජාතික ජන බලවේගයෙ ආණ්ඩුවක් කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ. අපේ පාලනයක් යටතේ නීතිය පිළිබඳ විශ්වාසයරටේ පුරවැසියන් තුළ තහවුරු කරනවා.

අද (18) උදේ රනිල්ගේ මාධ්‍ය සාකච්ඡාවක් තිබුණා. එක මාධ්‍යවේදියෙක් ඔහුගෙන් ඇහැව්වා රනිල්ගෙන්, ‘ඔයා ඊළඟට ජනාධිපති වුණොත් අර්ජුන මහේද්‍රන් ගේනවාද’ කියලා. වැඩසටහන ඉවර වුණාම රනිල් කිවුවා ඒ ප්‍රශ්නය අයින් කරන්න කියලා. ඒක රෙකෝඩ් කරපු මාධ්‍ය සාකච්ඡාවක්. මම ඒ මාධ්‍යවේදියාට ස්තුති වන්ත වෙනවා, එවැනි ප්‍රශ්නයක් අහන්න පෞරුෂය තිබීම ගැන. අපේ පාලනයක් යටතේ අපි කිසිසේත්ම රනිල්ලට නීතියෙන් ගැලවී පලා යන්න ඉඩ තබන්නේ නැහැ. මේ සැප්තැම්බර් 21 වැනිදාට මේ පැරණි අසාර්ථක පාලකයන් පැත්තක තියලා අපි ඔක්කෝම එකතු වෙලා නව පාලනයක් රට තුළ ගොඩනගමු. අපි රටට ඩොලර් හොයන හැටිත් දන්නවා. ඒවා ආරක්ෂා කරන හැටිත් දන්නවා. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය මේ රටේ සියලුම ජන කණ්ඩායම් අපේක්ෂා කරන ජයග්‍රහණයක්. එනිසා අපි ඔක්කොම එකතු වෙලා වැඩකරමු. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය නියතයි. ස්ථිරයි. සහතිකයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *