Latestදේශීය

ආපදාවට පත් ජනතාවට සහන සලසන්න මිලියන 50ක් වෙන් කෙරේ

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිලධාරින්ට උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එසේම අයහපත් කාලගුණ තත්වය හමුවේ ගංවතුර සහ නාය යාම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, සහන සේවා කටයුතු කාර්යක්ෂම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.

හදිසි ආපදා තත්වය හේතුවෙන් විපතට පත් සියලු ජනතාවට අවශ්‍ය සහන සැලසීමට රජය කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක, අදාළ පළාත්වල රාජ්‍ය නිලධාරින් සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරියේ දී ජනතාවට එම සහන ලබා ගත හැකි බවත් පවසා ඇත. එතෙක් පරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසද ජනාධිපති ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම සහන සේවා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 50ක් වෙන් කරන ලෙස මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ සහන නිසි පරිදි ජනතාව අතට පත් කිරීමට මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරන ලෙසද රාජ්‍ය නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම් දෙයි.

පසුගිය දින කිහිපය තුළ දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක ඇති වූ ගංවතුර සහ නායයම් නිසා පවුල් 6,018ක පුද්ගලයන් 24,492ක් විපතට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සහන මධ්‍යස්ථාන 23ක, පවුල් 584ක පුද්ගලයන් 2,200ක් මේ වනවිට ආරක්ෂිතව රඳවාගෙන තිබෙන බවත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය හරහා ආපදාවට පත් සියලු දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් මේ වනවිට සහන සේවා කටයුතු ආරම්භ කර ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

හදිසි ආපදා තත්වය පිළිබඳ තොරතුරු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ඇමතුම් මැදිරිය සහ 0112136136, 0112136222, 0112670002 දුරකථන අංක ඇමතීමෙන් දැනුම් දිය හැකි බවද ජනාධිපති මාධ්‍ය අංශය මහජනතාවගේ අවධාරණය කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *