Latestදේශීය

මහජන ධනය සාංගික දේපලක්, එය වංචා කිරීමට යුක්තිසහගත අයිතියක් නැහැ – අනුර දිසානායක

මහජන ධනය සාංඝික දේපළක් හා සමානව සුරැකිය යුතු බවත් එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නොමැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමිණි.

අනෙකුත් රටවල බලශක්ති ක්ෂේත්‍රයට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන ආකාරයෙන්ම ශ්‍රී ලංකාව තුළද බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ඇති බව එහි පෙන්වා දී ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක බලශක්ති අමාත්‍යාංශය යනු මූල්‍ය ඉපයීම් සිදුවන අමාත්‍යාංශයක් බවත් ඉහළ ඉපයීමක් තිබෙන විට අක්‍රමිකතා සිදු විය හැකි බවට සමාජයේ කතිකාවක් තිබෙන බවත් සඳහන් කර ඇත.

මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව අපේක්ෂා සහගතව සිය මනාපය භාවිතා කර තිබෙන බවත් එම ජනවරමට වගවීමට තමන් බැදී සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කර තිබේ.

පැරණි දේශපාලන සංස්කෘතියට තිබෙන විරෝධතාව, පුරවැසියා මුහුණ දෙන ආර්ථික ගැටලු හා රාජ්‍ය සේවයේ කාර්යභාරය පිළිබඳ පුරවැසියාගේ අතෘප්තිමත්භාවය ආදී හේතු නිසා පුරවැසියා නව දේශපාලන සම්ප්‍රදායක් කෙරෙහි විශ්වාසය තබා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පෙන්වා දී ඇත.

රටේ ආර්ථිකය බිඳ වැටීම පිටුපස වංචාව දූෂණය හා නාස්තිය තිබෙන බව ජනතාව විශ්වාස කරන බවත් එය වැළැක්වීම සඳහා මෙවර ජනවරම ලබා දී ඇති බවත් පවසා ඇති ජනාධිපති රාජ්‍ය දේහය පුරා පැතිර පවතින වංචා දූෂණ නැවැත්වීම සඳහා ජනතාව තැබූ විශ්වාසය තමන් රකින බවත් රාජ්‍ය සේවකයින්ද තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට කැපවන ලෙස රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා තිබේ.

මහජන ධනය සාංඝික දේපළක් හා සමානව සුරැකිය යුතු බවත් එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නොමැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කර ඇත.

පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බවද ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට තමා කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සදහන් කර තිබේ.

මෙවර ජනවරමේ සංයුතිය, අරමුණ හා අපේක්ෂාවන් ඉටු කරගැනීම සඳහා රාජ්‍ය සේවකයා වගකීමෙන් හා වගවීමෙන් කටයුතු කළ යුතු බව පෙන්වා දී ඇති ජනාධිපති ඊට අදාළ දේශපාලන නායකත්වය තම කණ්ඩායම ලබාදීමට සූදානම් බවත් කියා ඇත.

රාජකාරී සීමාව තුළ රාජ්‍ය සේවකයා ගනු ලබන ජනතා හිතවාදී සෑම කටයුත්තක් වෙනුවෙන්ම තමන් පෙනී සිටින බවත් නොකළ යුතු දේ සිදු කළහොත් ඊට අදාළ ක්‍රියා මාර්ග ගැනීමට නොපැකිළෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සදහන් කර තිබේ.

බලශක්ති ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහ ඉදිරි වසර කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ සවිස්තාරත්මක හා දීර්ඝ සමාලෝචනයක් මෙහිදී සිදු කර ඇත.

ඉදිරි වසර තුන තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගන්නා ආකාරය පිළිබඳව මෙන්ම ජනතාවට ලබාදිය හැකි කෙටි සහ දිගුකාලීන සහන පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ.

බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල, විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.ජී.ආර්.එ‍ෆ් කොමෙස්ටර්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ සභාපති ජනක රාජකරුණා ඇතුළු බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිට ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *