Latestදේශීය

හැමදාම පරදින රනිල්ගේ ප්‍රකාශ වලින් රටට වැඩක් නැහැ – සාගර කාරියවසම්

සෑමදාම මැතිවරණ පරාජය වීමේ ඉතිහාසයක් ඇති රනිල් වික්‍රමසිංහ මහතා කරන විශේෂ ප්‍රකාශවල කිසිදු වලංගුභාවයක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ (18දා) පැවසීය.

මීළඟ මහ මැතිවරණයේ දී පළපුරුදු කණ්ඩායමකට පාර්ලිමේන්තුවේ බලය ලබාදිය යුතු බවත් සිලින්ඩරය ලකුණ යටතේ ඉදිරිපත් වන කණ්ඩායම එම පල පුරුදු කණ්ඩායම බවත් පෙරේදා (17දා) විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළ අතර මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය කුමක්දැයි කළ විමසීමකදී කාරියවසම් මහතා ඉහත අදහස් සඳහන් කළේය.

කාරියවසම් මහතා මෙසේද පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහත්තයා නිදහස් පක්ෂය විනාශ කළා. එක්සත් ජාතික පක්ෂයත් විනාශ කළා. ඔහුට මුළු ජීවිත කාලයේදීම ලබාගන්න බැරිවුණ ජනාධිපති ධුරය ලබා ගන්න උදව් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් විනාශ කරන්න උත්සාහ කළා. ඒ නිසා රනිල් කියන්නේ විනාශකාරී නායකයෙක් මිසක් නිර්මාණශීලී නායකයෙක් නෙවෙයි. ඔහුට උරුම ඉතිහාසයේ කුණු බක්කියයි. ඒ නිසා තමන් ළඟ සිටින පිරිස ගැන ඔහු කරන ප්‍රකාශවලට මහජනතාව ඉදිරියේදී කිසිම වලංගුභාවයක් නෑ. ජනාධිපති වෙන්න ඔහුට අවස්ථාවක් දීලා පොදුජන පෙරමුණත් කරගත්තේ වැරැද්දක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ මහ මැතිවරණයට ඉතාමත් ශක්තිමත්ව මුහුණ දෙනවා. පක්ෂයට ද්‍රෝහී වෙලා ගිය කිසිවකුට අපි නාමයෝජනා දුන්නේ නෑ. රටේ ඒකීයභාවය පිළිගන්නා ප්‍රතිපත්තිගරුක තරුණ පිරිසක් මෙවර පොහොට්ටුවෙන් මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබෙනවා. රාජපක්ෂ ආණ්ඩුව නිසා රටේ ආර්ථිකය වැටුණු බවට හෙණ බොරුවක් පහුගිය කාලයේ රට පුරා පැතුරුවා. ඒ නිසා ගමින් ගමට ගෙයින් ගෙයට ගොස් මේ මහ මැතිවරණයේදී ජනතාව අතර අත්පත්‍රිකා බෙදා දෙමින් දැනුවත් කිරීම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ප්‍රධාන රැස්වීම් සියල්ල පැවැත්වෙනවා. පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතා රැස්වීම් මාලාවේ අවසාන අදියරේදී සම්බන්ධ වෙනවා.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *