වැටුප් නැතිව, දුක් මහන්සියෙන් වලල මළල ක්‍රීඩාවට පණදුන් සුසන්තට කැපිල්ලක් – වලල වලපල්ලට
ජාතික මට්ටමෙන් මෙරට ක්‍රීඩාවේ පැවැත්මට සහ ප්‍රගමනයට ප්‍රධාන මූලාශ්‍රයක් වන පාසැල් ක්‍රීඩාවේ අභිවෘදිය සඳහා 1995 වසරේදී හඳුන්වා දුන් ජාතික ක්‍රීඩා පාසල් සංකල්පය ඉමහත් පිටුවහළක් වුවද ඊට දශක දෙකහමාරක් ගෙවී යන මේ මොහොතේදී මෙකී පාසැල් ඔවුන් සතු අරමුණු වලට පටහැනිව කටයුතු කරනා ආකාරය ක්‍රීඩා බලධාරීන්ගේ දැඩි අවධානයට ලක්විය යුතුව ඇත. සමස්ථයක් ලෙස මීට දශක තුනකට පෙර තිබූ තත්වයට සාපේක්ෂව අද වන විට මෙරට පාසැල් මට්ටමෙන් ක්‍රීඩාව යම් පසුබෑමකට ලක්වී ඇති බව කාගේත් පිළිගැනීමයි. ඒ අතරින් ප්‍රමුඛතම ක්‍රීඩාව වන පාසල් මලල ක්‍රීඩාවට අද උදාවී ඇති ඉරණමට ප්‍රධාන හේතුවක් ලෙස ජාතික ක්‍රීඩා පාසැල් පද්ධතියේ පවතින අකාර්යක්ෂමතාවයද සැළැකිය හැකිය.
මෙකී ක්‍රීඩා පාසැල් පද්ධතියේ කඩාවැටීමට ආසන්නතම උදාහරණය ලෙස මහනුවර වලල ඒ.රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ වත්මන් තත්වය හඳුන්වා දිය හැකිය. පාසල් මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ අංක එකේ පාසල වන එම පාසැලේ ප්‍රධාන පුහුණකරුවා ලෙස කටයුතු කළ සුසන්ත ප්‍රනාන්දු මහතා එම තනතුරෙන් ඉවත්ව යාමත් සමගම එහි ක්‍රීඩා පුහුණුකරණ පද්ධතිය තුළ උද්ගතවී ඇති අර්බුධය මීට හේතු පාදක වී ඇතැයි පැවැසේ.
වර්තමානයේ මෙරට තුළ ස්ථාපිත ක්‍රීඩා පාසැල් 23 අතුරින් බෙහොමයකම ක්‍රියාකාරීත්වය අසතුටුදායක මට්ටමක පවතින අතර එයට මූලික හේතුව එම ක්‍රීඩා පාසැල් සතුව ඇති පහසුකම් වල අඩු පාඩු නිසාම නොවේ. නිසි අධීක්ෂනයකින් කටයුතු නොකිරීමත් සහ නිසි පුහුණු ක්‍රමවේදයන්හි අඩුවක් තිබීමත් ඊට හේතු වී ඇති බව කිව යුතුය. තවද තම පාසැලේ දක්ෂතාවන් හීනවී යාමට පවත්නා පහසුකම් වල අඩුවක් පමණක් බලපාන්නේ නම් ක්‍රීඩා පාසැල් අතර අවසන් ස්ථානයේ පසුවිය යුත්තේද වලල ඒ.රත්නායක වැනි ක්‍රීඩා පාසලක් බව ඒම පාසැලට ගොඩවූ ඔනෑම අයෙකුට දැනගත හැකිය. හේතුව මීටර් 200 කින් යුත් ධාවන පථයක් සහිත ක්‍රීඩාංගණයක් වලල ඒ.රත්නායක මධ්‍ය මහා විද්‍යාලය සතු වුවද මැදි දුර ධාවනයේ යෙදෙන දක්ෂතම පාසැල් ක්‍රීඩකයින් රැසක් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩිම ප්‍රමාණයක් මෙරටට දායාද කළ පාසැලක් ලෙස වලල ඒ.රත්නායක මධ්‍ය මහා විද්‍යාලය හැඳින්විය හැකි නිසාය.
ජාතික පාසැල් ක්‍රීඩා සංකල්පය ක්‍රියාවට නැංවීමටත් පෙර සිටම එනම් 1993, 94 හා 95 යන වසර ත්‍රිත්වයේදීම පළාත් බාලිකා ශූරතා දිනා ගැනීම එම පාසැලේ මලල ක්‍රීඩාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් විය. පළමු හා දෙවැනි ජාත්‍යන්තර නියෝජනයන් ලෙස 1995 වසරේදී කේ.ඒම්.සමන්ත පෙරේරා මීටර් 400 ඉසව්වෙන් චීනයේ පැවැති මලල ක්‍රීඩා ශූරතාවලියටත් ඒම වසරේදීම ඩී.ඒ.ඉනෝකා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මැරතන් තරගයටත් වලල මහා විද්‍යාලයෙන් ඉදිරිපත් වීම අතීත දක්ෂතා අතර කැපී පෙනුනි. තවද පළමු ක්‍රීඩා පාසැල් ජාත්‍යන්තර නියෝජනයද වලල රත්නායක විද්‍යාලයෙන් බිහිවූ ක්‍රීඩිකාවක් වන නිලූකා ගීතානි රාජසේකරට හිමිවූ අතර එය 1998 වසරේදී ඔස්ට්‍රේලියාවේ පැවැති ක්‍රීඩා උළෙලයි. පසුව 2016 වසරේදී මැරතන් ඉසව්වෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමටද රාජසේකර ක්‍රීඩිකාව සමත් වූවාය. එතැනින් නොනැවතුන වලල ඒ.රත්නායක මධ්‍ය මහා විද්‍යාලය ජාතික ක්‍රීඩා පාසැලක් ලෙස 1995 දී නව ගමනක් ඇරැඹුමත් සමඟ 1998 වසරේ පැවැති ජ්‍යෙෂ්ඨ පාසැල් මලල ක්‍රීඩා උළෙලේදී එහි බාලිකා ශූරතාව දිනා ගනිමින් සමස්ථ ලංකා දක්ෂයින් බවට සනාථ කළේය. එසේ ඇරැඹූ ජයග්‍රාහී ගමන අද වන විට සමස්ථ ලංකා පාසල් ශූරතා 74කට හිමිකම් කියන අද්විතීය පාසැලක් බවට පත්ව ඇත.
1998 වසරේ සිට වසර 19ක්ම සමස්ථ ලංකා බාලක, බාලිකා ද්විත්ව ශූරතා දිනා ගැනීමට වලල රත්නායක ජාතික ක්‍රීඩා පාසල සමත් වීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී සිදුවීමකි. මෙම පාසැල නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියන් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය අවස්ථා 15ක් ලෙසද සටහන් වී ඇත. මෙකී ජාත්‍යන්තර තරග වලදී වලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 58ක් ශ්‍රී ලංකාවට හිමිකර දී ඇති අතර ඒ අතරට නව දකුණු ආසියානු කණිෂ්ඨ වාර්තා 3ක්ද ඇතුළත්ය. තවද ආසියානු කනිෂ්ඨ ශූරතාවකදී පදක්කම් 8ක් දිනාගෙන වැඩිම පදක්කම් ගණනක් දිනාගැනීමේ උරුමකම් කියන්නේද මෙම පාසැලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය. ඒවන් දක්ෂතා අතරට යමින් මේ වන විට ජාත්‍යන්තරයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35ක් බිහිකළ ගෙවි ගිය දශක දෙකක කාලය පුරා මෙරට පාසැල් මලල ක්‍රීඩාවේ විශිෂ්ඨයන් ලෙස අංක 1 ස්ථානයේ සිටින්නේද වලල ඒ.රත්නායක මධ්‍ය මහා විද්‍යාලයයි.
එහෙත් එහි ප්‍රධාන මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස වසර 30 කට අධික කාලයක් සේවය කළ සුසන්ත ප්‍රනාන්දු මහතා මේ වන විට එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇත. ඊට හේතු කාරණා සොයා පිළියම් යෙදීමට අදාළ බලධාරීන් උත්සුක නොවීමේ තත්වය තුළ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් යොදා ගන්නට තිබූ ප්‍රභල ආයෝජනයන් රැසක් රටට අහිමි වනු නොඅනුමානය. තවත් විදියකින් කිවහොත් වලල මලල ක්‍රීඩාව වලපල්ලට වැටීමේ අවධානමක්ද දැන් මතුව ඇත. ඉහත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සඳහා හරි මඟ පෙන්වමින් ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවකදී ශ්‍රී ලංකාවට වැඩිම පදක්කම් (8ක්) ප්‍රමාණයක්ද දිනා දුන් පුහුණුකරුවා ලෙස පමණක් නොව ශාරීරික අධ්‍යාපන ගුරුවරුන් 400ක් බිහිකිරීම සඳහාද ඔහු තම වෘත්තියෙහි කැපැවීමෙන් කටයුතු කළේය.
සුසන්ත ප්‍රනාන්දු මහතා 1988 ඔක්තෝබර් මාසයේදී පුහුණුකරුවකු ලෙස තම වෘත්තිය ආරම්භ කර ඇති අතර වලල රත්නායක මහා විද්‍යාලයේ ප්‍රධාන මලල ක්‍රීඩා පුහුණුකරු තනතුරට පත්ව ඇත්තේ 1990 මාර්තු මාසයේදීය. 2003 වසරේදී සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ලෙස වත්තේගම අධ්‍යාපන කලාපයට උසස්වීමක් ලැබුවද තවදුරටත් වලල රත්නායක මහා විද්‍යාලයේ ප්‍රධාන මලල ක්‍රීඩා පුහුණුකරු භූමිකාවේද නිරත වූ සුසන්ත මහතාට ඔහු කළ සේවයට නිසි අගැයීමක් නොලුබුණ බවට සාක්ෂි දරන්නේ දශක 2කට අධික ඔහුගේ සේවා කාලය අග භාගයේදීද ඔහුට ගෙවන ලද සොච්චම් දීමනාවයි. එහෙත් ඔහු මුදල් ගැනම පමණක් සැළැකිලිමත් නොවී කටයුතු කළ පුහුණුකරුවකු බවට හොඳම සාක්ෂිය වන්නේ 2012 වසරේ ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේ දක්ෂතා දැක්වූවන්ට උපහාර දක්වන්නට පැවැති උත්සවය දා දුටු සිදුවීමකි. එනම් එම උත්සවය වෙනුවෙන් ජනාධිපති මන්දිරයට ගිය අවස්ථාවේදී ඔහුට ශ්‍රී ලංකා පාසැල් ක්‍රීඩා අධ්‍යක්ෂ ධූරය පිරිනමන්නට එවකට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ යෝජනාවක් අනුව ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ප්‍රකාශ කළ විට සුසන්ත මහතා එම යෝජනාව කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. සුසන්ත මහතා ඒ මෙහොතේ ඉල්ලා සිටියේ තවදුරටත් වලල රත්නායක මහා විද්‍යාලයේ පුහුණුකරු රාජකාරියේ යෙදී සිටීමට වැඩි කැමැත්තක් ඇති බැවින් ඒ සඳහා ඉඩ ලබා දෙන ලෙසයි.
තම පුද්ගලික ධනය පවා වියදම් කරමින් එසේ දැඩි කැපැවීමෙන් හා මහන්සියෙන් ගොඩනඟාගත් ක්‍රීඩක පරපුරත් සමග තවදුරටත් ඉදිරියට යන්නට පුහුණුකරු සුසන්තට දැඩි උවමනාවක්ද ඇති බව ඉතා පැහැදිලිය. එහෙත් ඊට බාධාවක් වී ඇති ආර්ථිකමය ප්‍රශ්ණ හා ගැටළු විසඳා දෙන්නට අදාළ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු වගකිවයුත්තන් මෙතෙක් නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබීමද අවාසනාවට කරුණකි. මෙසේ ඊට වගකිවයුත්තන්ගේ සෘනාත්මක ප්‍රතිචාරයන්ට විරෝධය දැක්වීමක් ලෙසින් වලල රත්නායක ක්‍රීඩා පාසැලේම තවත් පුහුණකරුවන් තිදෙනෙකු තම ඉල්ලා අස්වීමේ ලිපි බාරදී ඇතැයිද පැවැසේ. මේ අතර මෙම පාසැලේ ආදී සිසුන්ගෙන් සැදුම්ලත් කොළඹ සහ මහනුවර ශාඛා සංවිධානද මෙම අර්බුදයට විසඳුමක් සෙවීමට මැදිහත් වී ඇති බව දැනගන්නට ඇත. නමුත් මෙරට මලල ක්‍රීඩාවට සෘජු ලෙසම බලපාන මෙම ප්‍රශ්ණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශ බලධාරීන් හා ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත් නොවන්නේ නම් දකුණු ආසියාව මෙන්ම ආසියාව ජයගත් මනෝජ් පුෂ්පකුමාර , අංජන ගුණරත්න, මොහොමඩ් සිෆ්රාත්, සෙනිරු ගුණරත්න, ඉඳුනිල් හේරත්, ගීතාන් රාජසේකර, ටී.ඒ.ඉනෝකා හා දිල්ෂි කුමාරසිංහ වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටට දායාද කළ මෙවන් පාසැලක් සොයාගැනීම අති දුෂ්කර කටයුත්තකු වනු ඇත.
සිරිනාම රාජපක්ෂ