දේශීය

බලශක්ති විප්ලවය අරඹනවා – අමාත්‍ය ඩලස් අලහපෙරුම

ලබන මස මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ පළමු සුළං බලාගාරය මන්නාරමේ විවෘත කිරීමෙන් බලශක්ති විප්ලවයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කිරීමට කටයුතු කරන බවත්, රටක් ලෙස ඩීසල් කෙරෙහි දක්වන අසීමිත ඇල්ම වෙනුවට ස්වභාවධර්මයට ප්‍රේම කිරීමට ශ්‍රී ලාංකික විදුලි බල ක්ෂේත්‍රය යොමු කරන බවත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා අවධාරණය කළේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම පිළිබද කාර්ය සාධක කමිටුවේ රැස්වීමට සහභාගි වෙමින් විදුලිබල අමාත්‍යවරයා මෙම අදහස් ඵල කරන ලදි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු ධූර කාලයේ දෙවන වසර ඉක්මවීමට ප්‍රථම එනම් 2021 නොවැම්බර් 16 දිනට ප්‍රථම ශ්‍රී ලංකාවේ විදුලි පරිභෝගිකයින් සංඛ්‍යාව 100%ක් බවට පත් කිරීම නියතයක් යැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් විදුලිය නොමැති පවුල් 1359ක් සිටිනවා. වත්මන් ආන්ඩුව විදුලිය සලකන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස. ඒ නිසා ඈත දුෂ්කර කදු මුදුන් මත නිවෙස් තනා ජීවත්වන පුරවැසියන් වෙත ප්‍රධාන ජාලයට ලගාවිය නොහැකි නම් එවැනි අතිදුෂ්කර ප්‍රදේශයන් වෙත සූර්ය බලයෙන් හෝ විදුලිය ලබා දීමට විදුලිබල අමාත්‍යංශය කැපවී කටයුතු කරනවා.”

“ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය කළහැකි ජල මූලාශ්‍ර සියල්ලම පාහේ මේ වන විට ඒ සදහා යොදාගෙන ඇති බැවින් විදුලි උත්පාදනය සදහා විකල්ප මූලාශ්‍ර සෙවීමට සිදුවී තිබෙනවා. එහිදී මිල අවම මෙන්ම පරිසර හානියෙන් තොර මාධ්‍යයයන් වෙත යොමුවීමේ වැදගත්කම රජය අවබෝධ කරගෙන තිබෙනවා. වසර 2030 වන විට පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය 70% දක්වා වර්ධනය කිරීමට කටයුතු කරනවා. “ යැයි පැවසීය.  

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?