CIDයට නොඑන බව සිරිල් ගාමිණී පියතුමා දන්වයි
ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බැවින් අද (03) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිය නොහැකි බව ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ.
අද පෙරවරු 9.30ට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙස ගරු සිරිල් ගාමිණී පියතුමන්ට දැනුම් දී තිබුණි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම සඳහා පසුගිය 23වැනි දා සූම් තාක්ෂණික සංවාදයක් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
එම සංවාදයට එක්වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික ප්‍රකාශක කමිටුවේ සාමාජික ගරු.සිරිල් ගාමිණි පියතුමන් සිදුකළ ප්‍රකාශ කිහිපයකට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් මහතා පසුගිය 25වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළේය.
එම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔක්තෝම්බර් 28වන දා පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාට දැනුම් දී තිබූ අතර ඒ සඳහා පියතුමන් සතියක කාලයක් ඉල්ලා තිබුණි.
ඒ අනුව අද පෙරවරු 9.30ට නැවත පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබූ අතර ඊට පිළිතුරු ලෙස නීතිඥවරයෙකු මාර්ගයෙන් ලිපියක් යවමින් පියතුමන් දැනුම් දී ඇත්තේ මීට අදාළව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති අතර ඉදිරි දිනවලදී එය විමසා බැලීමට නියමිත බවයි.
එම නිසා අද දිනයේ පැමිණිය නොහැකි බව ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
ඊයේ (02) ශ්‍රේෂ්ඨාධිකණයේ ගොනු කළ පෙත්සමෙන් පියතුමන් ඉල්ලා සිටියේ තමන් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති අතර එහිදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවයි.
ගරු සිරිල් ගාමිණී පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ පෙත්සම විභාග කර අවසන් කරනතෙක් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසයි.