දේශීය

පාලන මිල ඉවතට – අති විශේෂ ගැසට් නිවේදනයක්

සීනි, පරිප්පු, කුකුළු මස්, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.

විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ භාණ්ඩ සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිල ඊයේ (03) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍ර 07ක් නව ගැසට් පත්‍රය මගින් අවලංගු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය සැප්තැම්බර් මස 02වන දින සුදු සීනි සහ දුඹුරු සීනි සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය අවලංගු කර තිබේ.

ඊට අමතරව 2020.03.17වන දින මයිසූර් පරිප්පු, බී ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය ද නව ගැසට් පත්‍රය මගින් අවලංගු කර ඇති බව වාර්තා වේ.

බඩ ඉරිඟු සඳහා 2020.03.12වන දින නිකුත් කළ ගැසට් පත්‍රයෙන් පනවා තිබු උපරිම සිල්ලර මිල ද ඉවත් වන අතර එදිනම කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය ද අවලංගු කර තිබේ.

2017.12.06වන දින කරවල, පොල්, වියළි මිරිස්, උම්බලකඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය ද එම වර්ෂයේ ජනවාරි 27 වන දින වියළි හාල් මැස්සන්, මුං ඇට, ආනයනික අර්තාපල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රය ද අවලංගු කර ඇති බව නව ගැසට් පත්‍රය මගින් ප්‍රකාශ කර ඇත.

ඊට අමතරව 2016.07.14වන දින කඩල, තිරිඟු පිටි, ආනයනික කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් පනවා තිබු ගැසට් පත්‍රය ද අවලංගු කර තිබේ.

මීට පෙර සහල් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය ද අවලංගු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගනු ලැබීය.

අදාළ නිවේදනය පහතින්,

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *