Latestදේශීය

කමිටු පවත්වන්න වාර්ෂික වියදම රුපියල් කෝටි 200යි. දූෂණ මඩින පාර්ලිමේන්තු නිර්දේශ 2000ක් කුණු කූඩෙට.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම සදහා පසුගිය කාලයේදී ඉදිරිපත් කර ඇති නිර්දේශ 2,000කට වැඩි සංඛ්‍යාවක් හමස් පෙට්ටියට ගොස් ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

මෙම කමිටු පවත්වාගෙන යෑම සඳහා වාර්ෂිකව රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් වැය වන බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු කමිටුවල නිර්දේශ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට බලතල ලැබෙන නීතිමය යාන්ත්‍රණයක් (පාර්ලිමේන්තුව හරහා) සකස් කිරීම කාලෝචිත මෙන්ම ඉතා වැදගත් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතන ප්‍රධානීන් එම රැස්වීම්වලදී පොරොන්දු වී ඇතත් ඒවා කිසිවක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව මෑතකදී කළ සොයා බැලීම්වලදී පෙනී ගියේ යැයිද හෙතෙම සඳහන් කළේය.

මේ අතර ඇතැම් දූෂිත රාජ්‍ය නිලධාරීන් කෝප්, කෝපා ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා මග හරින තත්ත්වයක් පෙනෙන්නට ඇතැයිද මෙසේ මගහරින නිලධාරීන් සම්බන්ධයෙන්ද දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රම වේදයක් සකස් කිරීම ඉතා වැදගත් බවත් පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

පාර්ලිමේන්තු කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති ආයතන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, වනජීවී දෙපාර්තමේන්තුව හා පළාත් පාලන ආයතන ද වෙතියි එම නිලධාරීහු සඳහන් කරති. මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඇතැම් ආයතන වලට කීප වරක්ම සිහි කැඳවීම් කර ඇතත් ඒවා මෙතෙක් ඉටුවී නැතැයි ද දැනගන්නට ඇත.

(සුජිත් හේවාජුලිගේ)

ඉරිදා ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?