දේශීය

සඳහිරු සෑය සසුනට පූජා කිරීම අද

අනුරාධපුර සඳහිරු සෑය සම්බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය අද (18) සිදු කිරීමට නියමිතය.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ය.

ශ්‍රී ලංකාවේ දශක තුනකට ආසන්න කාලයක් පැවති යුද්ධයේදී දිවි පිදූ මෙන්ම රණක්ෂිතයට පත් රණවිරුවන් උදෙසා කළගුණ සැලකීමක් ලෙස මෙහි ඉදිකිරීම් සැලසුම් කෙරුණේ, 2010 වසරේදී ය.

ඒ අනුව එම වසරේදීම නොවැම්බර් 22 වැනි දා රණවිරුවන් උදෙසා ඉදිවන මෙම සෑයට මුල්ගල් ගල තැබුණි.

ආරම්භයේදී ”රණවිරු සෑය” යන නම ඊට යෙදීමට තීරණය කළත්, පසුව එය සඳහිරු සෑය යන නමින් හඳුන්වන්නට වූයේ සඳ හිරු පවතිනා තුරු විරාජමානව පවතිනු ඇතැයි යන සංකල්පයෙන් යුක්තවයි.

පසුගිය 8 වැනි දා පෙරවරු 9.53ට යෙදුණු සුබ මුහුර්තයෙන් මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද සඳහිරු සෑ රඳුන් මත චූඩාමාණික්‍ය තැන්පත් කෙරිණි.

චූඩාමානික්‍යයත් සමග සඳහිරු සෑයේ උස අඩි 282යි අගල් 6කි.

සෑයේ විෂ්කම්භය අඩි 255ක් වන අතර වට ප්‍රමාණය අඩි 801ක් වේ.

සෑය ඉදිකිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය පූර්ණ ශ්‍රම දායකත්වය ලබා දුන් අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ සහය ඇතිව එහි ඉදිකිරීම් සිදු කෙරුණේ ශ්‍රී ලාංකික ඉංජිනේරු තාක්ෂණයට අනුරූපවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?