දේශීය

වසර 580කට පසු දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණය අද

මේ දිනවල සෞරග්‍රහ මණ්ඩලයේ දීප්තිමත්ම ග්‍රහලෝක තුනවන බ්‍රහස්පති, සෙනසුරු සහ සිකුරු හිරු බැස යෑමෙන් පසු බටහිර අහසේ එක පෙළට සිටින සේ දැක බලා ගැනීමට අපට අවස්ථාව ලැබෙන අතර වසර 580කට පසු සිදු වන දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණය අද (19) දින සිදුවනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

කෙසේ නමුත් මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් නොවන අතර ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශය, ඇමරිකාව, උතුරු යුරෝපය, නැගෙනහිර ආසියාව, ඔස්ට්‍රේලියාව, පැසිෆික් කලාපයේ රටවල් ඇතුළු ලෝකයේ රටවල් රැසකට මෙම චන්ද්‍රග්‍රහණය දැක ගත හැකිය.

අර්ධ චන්ද්‍රග්‍රහණ අවධියේ සම්පූර්ණ කාලය පැය 3 විනාඩි 28කි. චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් පෙ.ව. 11.32ට ආරම්භ වී ප.ව. 5.33ට අවසන් වේ. සම්පූර්ණ කාලය පැය 6යි මිනිත්තු 1ක් වැනි දීර්ඝ කාලයකි. මෙසේ දීර්ඝ කාලීනව පැවතීමට හේතුව වන්නේ චන්ද්‍රයා එහි ඉලිප්සීය කක්ෂයේ පෘථිවියේ සිට ඇති දුරම ස්ථානයේ පිහිටි විටෙකදී චන්ද්‍රයාගේ කක්ෂීය වේගය අවම වන හෙයින් එම අවස්ථාවක දී මෙමෙ ග්‍රහණය සිදු වීමයි.

සාමාන්‍යයෙන් සති දෙකක පරතරයක් ඇතිව එක දිගට ග්‍රහණ දෙකක් ඇති වේ. ඒ අනුව දින 14කට පසු දෙසැම්බර් 4 වැනි දින පෙ.ව. 10.59ට ආරම්භ වී ප.ව. 3.07ට අවසන් වන පූර්ණ සූර්යග්‍රහණයක් ද සිදුවනු ඇත. මෙම සූර්යග්‍රහණය ද ශ්‍රී ලංකාවට නොපෙනෙන අතර ඇන්ටාක්ටිකාවට, දකුණු අප්‍රිකාව සහ නැමීබියාවේ ප්‍රදේශ කීපයකට පමණක් දිස්වනු ඇත.

මේ දිනවල ශ්‍රී ලංකාවට දර්ශනය වන ග්‍රහණ ඉතා විරලව පවතී. 2022 වසරේ ශ්‍රී ලංකාවට ග්‍රහණ දෙකක් පමණක් දිස්වනු ඇත. ඒ ඔක්තෝබර් 25 වැනි දා අර්ධ සූර්යග්‍රහණයක් සහ නොවැම්බර් 8 වැනි දා අර්ධ චන්ද්‍රග්‍රහණයක් වශයෙන් බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *