කොදෙව් – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අද
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (21) ආරම්භ වනවා.
2021 – 2023 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේ පැවැත්වෙන පළමු තරගය ද මෙයයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ දක්වා ටෙස්ට් තරග 22ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 9ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත් අතර කොදෙව් කණ්ඩායම තරග 4ක් ජය ගෙන ඇත. දෙරට මේ දක්වා ටෙස්ට් තරගාවලි 10ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 3ක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා. කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා පිලට එරෙහිව ජයගෙන ඇත්තේ ටෙස්ට් තරගාවලි 2ක් පමණයි. තරගාවලි 9ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.
2015 වසරෙන් පසුව ශ්‍රී ලංකා පිල කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කර නොමැති අතර කොදවේ කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකා පිලට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කර තිබුණේ 2003 වසරේදී ය.
ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 8වන ස්ථානයේ පසුවන අතර කොදෙව් කණ්ඩායම එම සටහනේ පසුවන්නේ 7වන ස්ථානයේයි. කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය ද ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් තොරව පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.
දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා අද ආරම්භ වන තරගයේ පිතිකරුවන් අතරට අයත් වේ.
ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම හා රමේෂ් මෙන්ඩිස් දඟ පන්දු යවන්නන් ලෙසත් සුරංග ලක්මාල් හා දුෂ්මන්ත චමීර වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක් වන බවයි නායක දිමුත් කරුණාරත්න සඳහන් කළේ.
ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගාවලිය ද මෙයයි.
මේ අතර ටෙස්ට් තරග 200ක තීරක ලෙස කටයුතු කරන ලද පළමු තරග තීරකවරයා වීමේ අවස්ථාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරුන්ගේ ප්‍රධානී රංජන් මඩුගල්ලේ මහතාට අද උදාවනවා.
ඔහු ලොව තරග තීරකවරුන් අතර ජ්‍යෙෂ්ඨතමයා ලෙසයි සැලකෙන්නේ.
ටෙස්ට් තරග 100 සහ 150ක සීමාව පසුකළ පළමු තරග තීරකයා ලෙසින් ද රංජන් මඩුගල්ලේ මහතා වාර්තා පොත් අතරට එක්ව සිටිනවා.