දේශීය

අවලංගු කළ දුම්රිය ගමන්වාර කිහිපයක් අද යළි ඇරඹේ

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තවකාලිකව අවලංගු කර තිබූ දුම්රිය ගමන්වාර කිහිපයක් අද (29) දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසයි.

ඒ අනුව උඩරට දුම්රිය මාර්ගයේ පොඩි මැණිකේ දුම්රිය පමණක් අද දිනයේ සිට බදුල්ල – කොළඹ අතර ධාවනය කෙරෙන බව වාර්තා වේ.

අද උදෑසන 5.55ට කොළඹ කොටුව සිට පොඩි මැණිකේ දුම්රිය බදුල්ල දක්වා ගමන් ආරම්භ කළ අතර උදෑසන 8.30ට බදුල්ල සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ ද පොඩි මැණිකේ දුම්රිය පමණක් බදුල්ල – කොළඹ අතර ධාවනයට එක් කෙරෙන බවයි.

සෙසු දුම්රිය ගමන්වාර පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මගී ප්‍රවාහන කටයුතු සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව ද ඔවුන් සඳහන් කළේය.

මේ අතර පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ද ඊයේ (28) දිනයේ සිට පුත්තලම දක්වා ධාවනය කරවීමට පියවර ගෙන තිබේ.

මුන්දලම සහ පාලවිය අතර දුම්රිය මාර්ගයේ ඇති වූ නායයෑමක් හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය කටයුතු බංගදෙණිය දක්වා පමණක් සීමා කිරීමට පියවර ගැණුනි.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල තැපැල් දුම්රිය හැර අනෙකුත් සියලු තැපැල් දුම්රිය සේවාවන් තවදුරටත් ධාවනය නොකෙරෙන බවයි.

දැනට තාවකාලිකව අත්හිටුවා ඇති සියලු දුම්රිය ගමන්වාර ඉදිරියේ දී සාමාන්‍ය පරිදි යෙදවීමට බලාපොරොත්තු වන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *