දේශීය

ප්‍රියන්ත කුමාර ඝාතනයේ තවත් 8ක් අත්අඩංගුවට

පකිස්තානයේ සියල්කොට්හි මාර්ගයක දී ප්‍රියන්ත කුමාර මහතා සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියේ තවත් සැකකරුවන් 8 දෙනෙකු පන්ජාබ් පොලීසිය විසින් අද (08) අත්අඩංගුවට ගෙන තිබේ.

පකිස්තාන පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිද්ධියට අදාළ CCTV දර්ශන හා දුරකථන දත්ත උපයෝගී කරගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව ඔවුන්ව අද ගුජරන්වාලා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 34 දෙනෙකු සිටින බව ද එරට පොලීසිය පවසයි.

ඉන් 26 දෙනෙකු පසුගිය සඳුදා ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

පකිස්තානයේ සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේ දී පසුගිය සිකුරාදා (03) ඝාතනය කර පුළුස්සා දැමූ ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුරු කොටස් පසුගිය දා දිවයිනට රැගෙන අවේ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකිනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය ලද 48 හැවිරිදි දෙදරු පියෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා පකිස්තානයට ගොස් තිබුණේ, මීට වසර 11කට පෙරදී ය.

ප්‍රියන්ත කුමාර මහතාගේ අවසන් කටයුතු අද (08) ගනේමුල්ල පොල්හේන පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *