දේශීය

විදුලි කප්පාදුව ගැන තීරණය අද

විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (27) දිනයේ දී තීරණය කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ අද දහවල් සිය කොමිසම රැස්වී රට තුළ පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් සිදු කිරීමෙන් අනතුරුව විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් පවතී ද යන්න පිළිබඳව තීරණය කරන බවයි.

පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් පසුගිය 25 වැනි දා සිදු කළ සමාලෝචනයෙන් අනතුරුව අද දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කර තිබුණි.

පවතින ඉන්ධන තොග සහ විදුලි උත්පාදනය කළ හැකි ප්‍රමාණය මෙන්ම විදුලි ඉල්ලුම ද සලකා බැලීමෙන් අනතුරුව විදුලි කප්පාදු යෝජනාව පිළිබඳව අද දිනයේ යළි සමාලෝචනයක් සිදු කිරීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය මේ වන විට අක්‍රීය වී ඇති අතර මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 162ක විදුලි ධාරිතාවක් අහිමිවුණි.

පවතින තත්ත්වයන් හමුවේ ඉදිරි දින තුන තුළ ද අඛණ්ඩව විදුලිය සැපයීමට උපරිම උත්සාහයක් දරන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?