රැකගත යුතු උරුමයන් සහ සුනිල් මාධව
සුනිල් මාධව ප්‍රේමතිලක නම් ඒ සොදුරු මානවවාදියා තවදුරටත් අප අතර නැත. එය මේ තරම් කලින් අපේක්ෂා නොකළ නමුත් දැන් එය සිදුවී අවසන්. තෙතමනයක් ඇති හදවතක් අපට යෝජනා කළ නිර්මාණශීලී මෙන්ම නිර්භීත ජීවන විලාශයක් සුනිල්ට තිබුනා කිවුවොත් ඒක අතිශයෝක්තියක් නෙමෙයි. අපේ පරම්පරාවට සුනිල් කළ බලපෑම මෙතෙකැයි කියන්න බැහැ. ඒ නිසාම සුනිල් අපට බරයි.
8වෙනි පිටුව, සත්‍යවාදියාගේ දිනපොත, හිරු, ලක්දිව, ජනතා සාහිත්‍ය උළෙල, බොරැල්ල උද්ඝෝෂණය, වැනි වචන සමාජ ජාලා හරහා මේ දිනවල සංසරනය වන්නේ සුනිල් මියගිය පුවත කරලියට ආ නිසාමයි. සුනිල් ජීවත්ව සිටියාය කියා පොදු සමාජයට මතක් වන්නේ ද එපමණක් නොව එකල සුනිල් සමග වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් මාධ්‍ය ලෝකයේ ශ්‍රමය වැගිරූ සටන් සගයන් වන අද පාලනයේ ඉහල පුටු හොබවන අයට ද සුනිල් ජීවත්ව සිටියා කියා මතක් වන්නේ ද සුනිල් මියගිය නිසාමයි.
මෙරට සංගීත ක්ෂේත්‍රයේ Legend යන විරුදාවලිය දින ගණනාවක් පොදු කතිකාවක උඩ පහළ සැරිසැරූ සුනිල් පෙරේරාගේ වියෝවෙන් මාස කිහිපයකට පසු පත්තර ලෝකයේ Legend යන කතිකාව සුනිල් මාධව ගේ මරණය හරහා සමාජ මාධ්‍ය තුළ ඔබමොබ යමින් තිබෙනවා. එහෙත් මානවවාදයේ අසාර්ථක ව්‍යාපෘතියක අතරමැද නික්ම ගිය සුනිල්, එම අසාර්ථකභාවයේම ඵලයක් ලෙස මෙරට බහුතර පොදු ජන සමාජයට එතරම් අදාල නැති සමුගැනීමක් සළකුණු කරමින් තිබීමම 90 දශකයේ අභිලාශය පිළිබදව අපට නැවත සිතා බලන්න අවස්ථාවක් උදාකර දී තිබෙනවා.
පත්තරකාරයෙක් හැටියට ජනසමාජය හදුනාගත් සුනිල් පෑනෙන් කළ අරගලය මානවවාදී විප්ලවයක්. විශේෂයෙන්ම 88/89 යුගයේ ප්‍රේමදාස රජයට අභියෝග කිරීම මරණයට අත වැනීමක් කියලා දැන දැනම සුනිල්ගේ නිර්භීත පෑන අකුරු කරන්නේ
ප්‍රේමදාස අපි සූදානම් ……. කියලා.
ඒ නිර්භීතකම අනූව දශකය පුරවන්නේ ධෛර්යසම්පන්න මිනිස් පැවැත්මකට අවැසි මූළික ශක්තිය. රණසිංහ ප්‍රේමදාස යුගය අවසන මෙරට ජන සමාජය පෙර පැවති රාජ්‍ය මර්ධනයත් එහි තෙහෙට්ටුවත් වෙනුවට නැවතත් වෙනස් ජීවිතයක් අපේක්ෂා කරන විට සුනිල් මාධව පරම්පරාවේ වටිනාකම් වෙනුවට සමාජය වෙලා ගන්නේ හුදු වීරත්වයන්. හිරු කන්ඩායම විවිධ අරමුණු මත පිහිටා එකිනෙකා වෙන්වී සමාජගත වන විට විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් ගෙන පැමිණි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග ව්‍යාපෘතියට ගාල් වන්නට ඩලස් අලහපෙරුම වැනි මාධ්‍යවේදීන් හිත හදාගන්නවා. ඒ අනුව අශ්වයා(ජ.වි.පෙ) එනතුරු බූරුවා(ශ්‍රී.ල.නි.ප) පිට ගමන් කරන්නට ගත් තීරණයේ ඉතිහාස කතාව ඩලස්ලා ලියමින් සිටින්නේ බූරු රැලක් සමග අඛන්ඩව ගමන් කරමින්.
විමලසිරි ගම්ලත් නම් මාධ්‍යවේදියා විමල් වීරවංශ ලෙස ජනප්‍රිය ධාරාවේ දේශපාලනික සංකේතයක් බවට පත් වී අශ්වයාගේ පිටෙන් බැස බූරුවා සමග වාසය ආරම්භ කළ ඉතිහාස කතාව අපි කාටත් අළුත් දෙයක් නෙමෙයි. රෝහිත භාෂණ උතුරේ ප්‍රශ්ණය මූළික කරගත් දේශපාලනික ගමන තුළ අදටත් මෙරටින් පිටුවහල්ව ඇති අතර මෙකී නොකී හිරු කන්ඩායම නියෝජනය කළ සියලුදෙනා සීසීකඩව තමන්ගේ හදවතට අනුව කටයුතු කරමින් සිටිනවා.
හිරු සටන් සගයන් මෙලෙස විවිධ උපායමාර්ගික ප්‍රවේශයන් ගනිමින් 90 දශකය ආරම්භයේ සඵත කරගත් විමුක්ති අභිලාශයන් අත්හල ඉතිහාසය තුළ ඩලස්ගේ අරුතින් බූරු නායකයින් කීයක් සමග මෙරට ජන සමාජයට ඉදිරියට ගමන් කරන්නට සිදුවුනා ද?
ප්‍රේමදාසට අභියෝග කළ සුනිල්ගේ නිර්භීතකමත් ඒ වගේම අනෙකාගේ වේදනාවෙදි කදුළු උපදින සුනිල්ගේ මානවවාදයත් ප්‍රශ්ණාර්ථයක් බවට පත්වන යුගය බිහිවන්නේ රාජපක්ෂ පාලනයත් එක්කමයි. ඇඹිලිපිටිය මිනීමරුවෝ ගැන කම්පා වන හදවත සහ ප්‍රේමදාස පාලනයට දිගුවන සුනිල්ගේ ඇඟිල්ල උතුරේ ජනසංහාරය පිළිබදව ඒ අර්ථයෙන් රාජපක්ෂ පාලනයට විරුද්ධව නිර්භීත නොවන්නේ කුමණ හේතුවක් නිසා ද? මේ ගැටලුව අදටත් හැඟිම්බර සුනිල් පිළිබද කතා කරන බොහෝදෙනා කතා නොකරන්නට පරිස්සම් වන කලාපයක්.
රාජපක්ෂ පාලන සමයේ මානව විරෝධී පාලනයට එරෙහිව සටන් කිරීටම හේතු ඇතිතරම් තිබුනත් ප්‍රේමදාස අපි සූදානම් කියූ නිර්භීත කම මත හිඳ මහින්ද අපි සූදානම් කියන්න සුනිල්ලාගේ පරම්පරාව තුළ වූ නොහැකියාව අද සමාජයට ඉතිරිකර ඇති ශේෂපත්‍රය පිරික්සා බැලීම අපගේ අනාගතයට ආයෝජනයක්.
ජාතිය, ආගම, මව්බිම, දේශප්‍රේමය, ඇති පදම් විකුණා දැමූ යුගයක සුනිල් මාධව නික්ම ගොස් ඇති යථාර්ථයක අපි තවමත් හුස්ම ගනිමින්.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරන විට, ඇමරිකාව විසින් ලිබියාව ආක්‍රමණය කරන විට, ඉන්දියාව සහ චීනය විසින් මෙරට ආර්ථික මර්මස්ථාන ආක්‍රමණය කරන විට, තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, ඩොලර් අර්බුධ, උද්ධමනය, පොහොර ගැටලු, මෙකී නොකී අර්බුධ අහස උසට ගොඩගැසී ඇති යථාර්ථයක සුනිල් අපෙන් සමුගෙන යන්නේ දේශප්‍රේමය, ජාතිය සහ ජාතික ආරක්ෂාව ගැන වඳබැහැපු අදහස් ගල් කරගත් සමාජයක අපි හැමෝම අතරමංව ඇති වටපිටාවකයි.
ඉතින්, සුබගමන් සුනිල් කියනවා වෙනුවට 90 දශකයේ මුල සුනිල්ලා එළඹසිටි සිහියට සහ ඒ විමුක්ති මාවතේ රැකගත යුතු උරුමයන් දෙසට නැවත ගමන් කිරීම සුනිල් මාධව ප්‍රේමතිලක නම් මිනිසාට කරනා අව්‍යාජ ගෞරවයක්.
රශ්මික ප්‍රභාත් විශ්වජිත්