Latestදේශීයමතවාද

ස්ත්‍රීවාදින් මගහැර යන රාජකුමාරිගේ අයිතිය

(ශේනු පෙරේරා)

සුධර්මා නෙත්තිකුමාරගෙ ගෙදර සේවය කරපු රාජකුමාරි පහරකෑමෙන් මිය යනවා. පොලිසිය රාජකුමාරිව අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ ලේඛනයේවත් සඳහන් නොකර කියලා 19 වෙනිදා උසාවියේදි ඔප්පු වෙනවා. මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවපු වෙලාවෙදි පොලිසිය පිළිගන්නවා තමන් කරේ නීතී විරෝධී වැඩක් කියලා. ඒ අතරෙ නීතිවේදීන් කියනවා යේසුරාසාගේ ප්‍රකාශයට අනුව අත්අඩංගුවට ගත්තට පස්සෙ පොලිසිය පහර දෙන වෙලාවෙදිත් සුධර්මා නෙත්තිකුමාර ද ඒ ස්ථානයේ ඉඳලා තියෙන කියලා(?). ඒ වගේම ඔහුට අනුව, අත්අඩංගුවට ගත්ත රාජකුමාරිගෙ ජංගම දුරකතනය සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව තියෙන්න ඕනේ පොලිසිය බාරයේ වුණත්, රාජකුමාරිට ඔහු කතා කරාම දුරකතනයට ප්‍රතිචාර දක්වලා තියෙන්නෙ නෙත්තිකුමාර ‘මැතිණිය’යි (ද ටයිම්.lk).

ලංකා e නිවුස් අඩවියට අනුව රාජකුමාරිගෙ මළ සිරුර

බදුල්ල දෙමෝදරට අරගෙන යන්න පොලිසිය විසින්, ඇයගෙ සැමියා වුණ යේසුරාසට රුපියල් 10,000ක් ලබා දෙනවා. අමුතු ආදරයක් පොලිසිය පෙන්නනවා. මේ සිද්ධිය ගැන මුලින්ම 17වෙනි දා අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරාම ඊට අදාළ විමර්ශන වාර්තාවක් ලබාදෙන්න කියලා මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියෝග කරලා තියෙනවා. ඒ වගේම මේ මරණයට අදාළ පොලිස් කොට්ඨාශය බාර නුගේගොඩ පොලිස් අධිකාරීවරයාට ඊළඟ වතාවේ අධිකරණයේ පෙනී ඉන්න කියලා නොතීසි කරලා තියෙනවා.

ෆේස්බුක් එකේ ස්වල්පයක් ඇරෙන්න බොහෝ දෙනෙක්ටත්, සාමාන්‍ය පරිද්දෙන්ම ප්‍රධාන මාධ්‍ය ආයතනවලටත් සුධර්මා නෙත්තිකුමාරගෙ නම හෝ මේ අපරාධය මඟ ඇරිලා ගිහිල්ලා තියෙනවා. කඳුකර දෙමළ ජනතාව මේ භූමියට ඇවිත් මේ ගෙවෙන්නෙ 200 වෙනි වසර. 200 වෙනි වසරෙදිත්, ඒ මනුස්සයෙක්ගෙ ජීවිතේ වටිනාකම රුපියල් 10,000. දවසෙ පඩිය 1000 කරන්න කියලා ඔවුන් මීට වසර ගාණකට කළින් පටන් ගත්තු සටන අද, 2023දිත් ඒ විදිහටම එකම තැන නතර වෙලා තියෙනවා. ඇයි? පොදු සමාජයට සහ බහුතරයට, මේ ප්‍රජාවට ‘දවසකට ලැබෙන වැටුප’ තමන්‍ට අදාළ කාරණාවක් නොවීම නිසා. විදුලිය නැතිවෙන එක සහ ගෑස් නැතිවෙනවා වගේ බරපතල සමාජ ගැටළු හැටියට කඳුකර දෙමළ ජනතාවගේ ජීවිත ගැටළු (ජීවත්වෙන්න තියෙන අයිතියවත්) ගණන් නොගැනෙන නිසා. සිවිල් සමාජයට පවා කඳුකර දෙමළ ජනයා කියන්නෙ ප්‍රොජෙක්ට්ස් කිහිපයකට අනුපාන සපයන මාතෘකාවක් මිසක්, මේ භූමියේ අනන්‍යතාවයක් සහිතව ගෞරවයෙන් ජීවත් විය යුතු ජන කණ්ඩායමක් හැටියට නොපෙනෙන නිසා.

යම් ජන කොටසකගෙ ජීවත් වීමේ අයිතිය නොසලකා හරින්න බහුතරයකට පුළුවන් වුණාට පස්සෙ ඒ ජීවිතවල වටිනාකමට ලංසු තියන්න පාලක පන්තියට පහසු වෙනවා. ඒ නිසා රාජකුමාරි වෙනුවෙන් අකුරක් ලියන්න, බලපෑම් කරන්න, රාජකුමාරිට වඩා සුධර්මා නෙත්තිකුමාර වටින්නෙ කොහොමද කියලා අහන්න, ගෙදරදිත් පහර දීලා පොලීසියට ගෙනල්ලත් පහර දීලා, මරලා දාලා, අත පිහිදන් යන්න තරම් හෘද සාක්ෂිය මැරුණු සමාජයක “අපි දැන් රාජකුමාරි වෙනුවෙන් මොකද කරන්නෙ” කියලා අහන්න ඉතුරු වෙන්නෙ සුළු පිරිසයි.

මේ ගැන කතා කරන අයට මේ අවකාශේ ඉන්න අයම පාවිච්චි කරන වචන තියෙනවා. NGOකාරයො, මානව හිතවාදී මෝඩයො, රටේ ස්වෛරීභාවය පාවා දෙන්නෝ, සහ තවත් නම්. ඒ නම් අහන අයම මේ වෙනුවෙන් කළ

හැකි යමක් කරාවි. පුළුවන් දුරක් ගිහින් නතර වේවී. ඔබ මොකක්ද කරන්න යන්නෙ? ඔබට මොනවද හිතෙන්නෙ? #BlackLivesMatters වුණා වගේ #RajakumariMatters වෙන්නෙ නැද්ද අපිට? මේ ගැන මේ අවකාශය ඇතුළෙ කතා කරන්න තරම්වත් මේ ජීවිතේ වටින්නෙ නැද්ද?

ස්ත්‍රීවාදය විශ්වාස කරන සියළු ගැහැණුන්ට මේ මොහොතෙ රාජකුමාරිව නොදැක්කා වගේ ඉන්න පුළුවන්ද? නොකඩවා පීඩාවට පත් වෙමින් සිටින, සටන් කිරීම වෙනුවට ජීවත් වීම තෝරගන්න නිරායාසයෙන්ම සිද්ධ වුණු ගැහැණු අතර තවත් එක්කෙනෙක් මේ මිය ගියේ. රාජකුමාරිට කිසිදාක හැකියාවක් තිබ්බෙ නෑ තමන්ට පුරුෂාධිපත්‍යයෙන් සිද්ධ වෙන හානිය ගැන ෆේස්බුක් එකේ ලියන්න. ඇයි ඒ? ඇයගේ මුළු ජීවිතයම මේ රටේ නිර්මාණය වෙලා තිබුණු ක්‍රමය විසින් සදාකාලික හානියකට ඇදලා දාලා තිබුණා. ඒ හානිය ඇතුළෙ ඇය ගැහැණියක් වීම නිසා ඇයට වුණ හානිය ගැන කල්පනා කරන්න කළින්, ඇය වතුකර දමිළ වැසියෙක් වීම නිසා ඇයගෙන් උදුරා ගැනුණු ජීවත් වීමේ අයිතිය එක්ක සටන් කරන්න ඇයට සිද්ධ වුණා. ඇයව සටනෙන් පරාද කරේ කවුද? තවත් ගැහැණියක්!!

බලය, ධනය, පොලිස්පතිගෙ ආරක්ෂාව, ජනමාධ්‍යවේදීන්ගෙ ආශිර්වාදය හිමි ගැහැණියක් විසින් උපතේදිම ගෞරවයෙන් ජීවත් වීමේ සහ අනන්‍යතාවයක් ලැබීමේ අයිතිය අහිමි කරවනු ලැබූ රාජකුමාරිගෙ ජීවත් වීමේ අයිතියත් උදුරාගනු ලැබුවා. ඒ නිසා මේ තියෙන්නෙ ගැහැණියක් වීම නිසා වුණු ගැටළුවක් කියලා කියවාගන්නවා වෙනුවට ඊටවඩා ටිකක් අවංක වෙන්න අපිට සිද්ධ වෙනවා.

ඇත්තටම රාජකුමාරිගෙ ජීවිතේට අපි දෙන්න යන වටිනාකම කීයද? සුධර්මා නෙත්තිකුමාරට සහ ඇය වෙනුවෙන් රාජකුමාරිට පහර දුන්නු අනෙක් ගැහැණුන්ට සහ පිරිමින්ට අපි දෙන්න යන වටිනාකම මොකක්ද? අපිට කරන්න පුළුවන් එකම දේ වචනයක් ලියන එකනම් රාජකුමාරි වෙනුවෙන්, අඩුගාණේ ඒකවත් කරන්න අපි සූදානම් ද?

රාජකුමාරි මිය යන මොහොතෙ මොනවා හිතන්න ඇතිද කියලා මම දන්නෙ නෑ. ඒත් ඇය මුළු රටකටම ඉදිරිපත් වුණු ලිට්මස් පරික්ෂාවක් බවට පත් වෙයි කියලා ඇය දැනගෙන නොඉන්න ඇති. යුක්තිය, සමානාත්මතාවය, ස්ත්‍රීවාදය, ජීවත්වීමේ අයිතිය, කඳුකර ජනයාගේ ජීවන තත්වය, ආගමිකයන්ගේ ආගමිකභාවය, වෘත්තීයවේදීන්ගේ වෘත්තීයභාවය, සිවිල් සමාජයේ වගවීම, ෆේස්බුක් යුක්තිය වගේ මේ සියළු කාරණාවල 2023 ලිට්මස් පරික්ෂාවේ නම තමා රාජකුමාරි. අපිට අහිමි වුණු රාජකුමාරිට නැතත් ඉතිරිවෙලා ඉන්න සියළු දෙනාට මේ පරික්ෂාව අරගෙන යන පණිවිඩය ගැන අපි තීරණයක් ගමු

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?