Latestදේශීය

මහින්ද රජෙක් කර ගීතය ගැයූ සහේළී සමාව ඉල්ලයි

ආයුබෝවේවා මහරජාණෙනි ගීතය ගායනා කරමින් මහින්ද රාජපක්ෂ මහතාව රජෙක් කළ නිර්මාණකරුවන් අතර ඉහළින්ම සිටි සහේළී ගමගේ තම ගීතය සම්බන්ධයෙන් ජනතාවගෙන සමාව අයදින ලදි.

තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඇය මෙම ගීතය ගායනා කිරීම සම්බන්ධයෙන් තම කණගාටුව පල කරන ලද අතර රාජපක්ෂ බලඅධිකාරියට එරෙහිව දියත්වන විරෝධතාවයට තම සහය ප්‍රකාශ කරන ලදි.

සහේළී ගමගේ විසින් තබන ලද සටහන පහතින්,

‘ආයුබෝවේවා’ ගීතය ගැන ඔබ නොදන්නා කෙටි සටහනක් තැබීමට සුදුසුම අවස්ථාව දැන් බව මට හැඟේ.

තිස් අවුරුදු යුද්ධයෙන් හෙම්බත්ව පීඩිතව තිබූ අප රට එයින් මුදාගැනීම නිසා උද්දාමයට පත්වූ සුව හසක් ශ්‍රී ලාංකිකයන්ගේ හදගැස්ම ගීතයකින් එළිදැක්වීමේ උතුම් අරමුණට මගේ හඬ දායක කිරීම රට වෙනුවෙන් කළහැකි යුතුකමක් ලෙස මා සැලකුවෙමි. මෙම ගීතය කිසිදු දේශපාලන පක්ශයක මදිහත්වීමකින් තොරව, මා සහ මාගේ දෙමාපියන්ගේ අදහසකින්, ස්ව මූල්‍යමය දායකත්වයෙන් කිසිදු ප්‍රතිලාභයක් නොපතා නිර්මල චේතනාවකින් නිර්මාණය කරන ලද්දකි.

මේ ගීතය නිසා එවකට යොවුන් තරුණියක් ලෙස මා ලද උපහාස, අපහාස නිමක් නැත. අදටත් එය එසේමයි. මාගේ මාතෘභූමියට මා අසීමිත ලෙස ආදරය කළත්, අද මා විදේශ ගතව ජීවත් වන්නේත්, මගේ රට වෙනුවෙන් ගායිකවක් සහ වෛද්‍යවරියක් ලෙස කළහැකි කලයුතු මෙහෙවර බොහෝ දුරකට මගෙන් අත් හැරුණෙත්, මේ ගීතය නිසයි. එය අදටත් මට දරාගත නොහැකි වේදනාවක්. තවද බොහොමයක් ඔබ දන්නා ‘ආයුබෝවේවා’ ගීතයට සමගාමීව, මා විසින් කුරිරු යුද්ධයෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන් සමරමින් ‘සත්‍යය ඔබයි’ ගීතය එලිදැක්වුවද, නොසිතූ ලෙස ‘ආයුබොවේවා’ ගීතය එය අභිබවා ජනගත වීම, මා දේශපලන ගැත්තෙකු සේ හංවඩු ගැසීමට හේතුවක් වුණ බව මාගේ අදහසයි.

කෙසේ වෙතත්, ‘අයුබෝවේවා’ ගීතය වෙනුවෙන් සියලුම මුදල් Mobitel සහ Dialog ‘RingIN Tone’ ඔස්සේ ලැබුනු අතර, එම සියලුම මුදල් යුද්ධයෙන් ආබාදිතවූ වීරෝධාර රණවිරුවන් උදෙසා ඉදිකෙරුණු අභිමංසල ව්‍යාපෘතියටත්, රණවිරු නිවාස ඉදිකිරීමටත්, අනෙකුත් විවිධ රණවිරු සුභසාධක කටයුතු සහ පිළිකා රෝගීන්ගේ සුභසාධනය සඳහාත් යෙදවීමට මට භාග්‍යය ලැබුණා. අවසානයේ මාහට ඉතිරි වූයේ එම පරිත්‍යාගශීලී සතුට පමණයි.

අද වනවිට අපේ මාතෘ භූමිය පත්වී ඇති අවාසනාවන්ත තත්වයට මා ගැයූ ‘ආයුබෝවේවා’ ගීතය කිසියම් අයුරකින් හෝ හේතුසාධකයක් වූවානම් මම මාගේ රට වෙනුවෙන් ඔබ සියලු දෙනාගෙන්ම සමාව අයදිනවා. එපමණක් නොව, මෙය හුදෙක් කාලාණුරූපිතව ගැයූ ගීතයක් පමනක් වන අතර මෙම ගීතය ගායනා කිරීම පිලිබඳ මා තුල ඇත්තේ ඉමහත් පසුතැවීමකි. මා දිවයිනෙන් බැහැරව සිටියත් ශ්‍රී ලාංකික ඔබ සැමගේ මෙම අභීත ජන අරගලයට මා ඉතිසිතින්ම දායක වෙමි. අදත් හෙටත් මාගේ මාතෘ භූමියේ අභිවෘද්ධිය සඳහා කරන ඕනෑම ජන අරගලයකට මා නොබියව දායක වෙමි.

මාගේ මාතෘ භූමිය දිනේවා!
ඔබ සැමට ජයෙන් ජයම වේවා!

ලැබුවාවූ මෙම අලුත් අවුරුද්ද ඔබ හැමගේම සිතුම් පැතුම් ඉටුවන, සතුටින් පිරි වාසනාවන්ත යුගයක ඇරඹුමම වේවා!

– සහේළී ගමගේ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?