Latestදේශීය

තැබෑරුම් අරින පාලකයෝ පාසල් වහලා දානවා – ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව

මේ වනවිට රට ඇදදමා තිබෙන ආර්ථික සහ දේශපාන අර්බුද පවා වර්තමාන පාලකයන් රටේ දරුවන් පිළිබඳව කිසිදු වගකීමකින් තොරව ක්‍රියාකරමින් සිටින අතර පාර්ලිමේන්තුව සහ තැබෑරුම් විවෘතව තබා පාසල් වසා දැමීමේ ක්‍රියාමාර්ගයක් අනුගමණය කරන බවට ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව ආණ්ඩුවට චෝදනා කරයි.

ඔවුන් මේ බව සඳහන් කළේ, පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (20) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීය. එම මාධ්‍ය හමුවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනී අමරසූරිය, ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ විධායක කමිටු සාමාජිකා සමන්මලී ගුණසිංහ සහ ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ විධායක කමිටු සාමාජිකා ව්‍රායි කැලී බල්තසාර් සහභාගී වුවෝය.

එහිදී ඔවුන් දැක්වූ අදහස් පහතින් පලවේ,

පාසලක් පවත්වාගෙන යන්න බැරි පාලකයන්
ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ විධායක කමිටු සාමාජිකා සමන්මලී ගුණසිංහ

“මේ වෙනකොට දරුවන්ගේ අධ්‍යාපනය 100%ක්ම අඩපණ වී දරුවන්ගේ පෝෂණය බිඳවැටී තිබෙනවා. ගෘහණියන්ට දැවැන්ත ආර්ථික සහ සමාජ අර්බුදයකට මුහුණ දීමට සිදුවී තිබෙනවා. මේ තත්වය ඇතිවී තිබෙන්නේ අවුරුදු 74ක් පුරා පවත්වාගෙන ආ ආර්ථික ක්‍රමය නිසයි. මේ තත්වයෙන් ගොඩඒම සඳහා සියලු දෙනාට ඇත්තේ මහපාරේ අරගල කිරීම පමණයි. වැඩිම පීඩාවක්, වේදනාවක් සහ ආර්ථික පීඩාවක් දැනෙන කාන්තාවන් මේ අරගලයේ මූලිකත්වය ගත යුතුයි.

දරුවන්ගේ අධ්‍යාපනය 100%ක්ම කඩා වට්ටලා තිබෙන්නේ ප්‍රවාහන සේවය අඩපණ කිරීම නිසයි. දරුවන්ගේ, ගුරුවරුන්ගේ සහ අධ්‍යාපනයට සම්බන්ධ සියලු දෙනාගේ ගමනාගමනය සම්පූර්ණයෙන් බිඳවට්ටලා. ළඟම පාසලට දරුවන් ඇතුළත් කරන ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන වැඩපිළිවෙළක් තිබුණා නම් මේ තත්වය ඇතිවන්නේ නැහැ. දැන් සියල්ල නූල් බෝලයක් වගේ අවුල් කරලා තිබෙන්නේ. අධ්‍යාපනය ලබන අපේ දරුවෝ මේ නූල් බෝලයේ පැටලිලා තියෙන්නේ. දරුවන්ගේ පාසල් බස්රථ සේවය බිඳවට්ටලා එය පෞද්ගලික ප්‍රවාහනයට පවරා තිබුණා. ඒ ගාස්තු රුපියල් 5000/-හේ සිට 7000/-ටත් ඊළඟ 10,000/- 15,000/- ගිහින් එතනින් නතර නොවී සමහර පාසල් සඳහා රුපියල් 20,000/- දක්වාත් ඉහළ නැග තිබෙනවා. ප්‍රදේශයෙන් ප්‍රදේශයට දරාගන්න බැරි තරම් වැඩිකර තිබෙනවා. මේ අයකිරීම් නියාමනය කරන්න ආණ්ඩු කොයිද? මේ අධික බරක් එකතු වී තිබෙන්නේ අධ්‍යාපනයේ සම්පූර්ණ බර දරන ගෙදර අම්මාටයි. පාසල් අරින වේගයට වඩා වේගයෙන් වහනවා. දරුවෝ ඉගෙන ගන්න එක පාලකයන්ට හිසරදයක්.

පාලකයන් පාර්ලිමේන්තුව, තැබෑරුම් ටික ඇරලා පාසල් වසා දමනවා. පෙර පාසලක්, පාසලක් පවත්වාගෙන යන්න බැරි පාලකයන්ට රටක් පාලනය කරන්න පුළුවන්ද? පාසලක් ආරම්භ කරලා කෙටි කාලයක්වත් පවත්වාගෙන යන්න බැරි ආණ්ඩුව ආණ්ඩුවක් නොවෙයි, පාණ්ඩුවක්. කිසිම වගකීමක් ගන්නේ නැහැ. මේ නිසා දරුවන්ගේ පාසල් අධ්‍යාපනය 100%ක්ම කඩා වැටිලා තියෙන්නේ. මහනුවර මහාමායා විද්‍යාලයට මාතලේ සිට දඹුල්ලේ සිට දරුවෝ එනවා. මේ එක දරුවෙකුට වෑන් ගාස්තුව රුපියල් 16,000/-යි. දරුවෝ දෙන්නෙක් එක ගෙදරකින් ආවොත් රුපියල් 32,000/-ක් දෙන්නේ කොහොමද? සේවාවක් විදිහට දරුවෝ පාසල් යන එන වෙලාව තුළවත් පොදු ප්‍රවාහනය ශක්තිමත් කරලා නැහැ. සමහර දරුවෝ ශිෂ්‍යත්වය සමත් වී ප්‍රධාන නගරවලට යනවා. ඉතාමත් අමාරුවෙන් ඉගෙන ගන්න දරුවන්ට ප්‍රවාහන පහසුකම්වත් දෙන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික්කයේ වුණත් මේ තත්වය බරපතළයි. ගුරුවරු සම්බන්ධයෙනුත් එහෙමයි. ඔවුන්ගේ වැටුපෙන් ගමන්ගාස්තු ගෙවන්න විශාල වියදමක් දරන්න වෙනවා. සිසුසැරිය බස් සේවාව ආරම්භ කර, ක්‍රමානුකූලව පවත්වාගෙන යන්න කියලා අපි අවධාරණය කළා. නමුත් එය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

ඒ වගේම දරුවන්ගේ ආහාර වේලත් බරපතළ ප්‍රශ්නයක්. පන්තියක දරුවෝ 30ක් ඉන්නවා නම්, දවසකට දරුවෝ අටදෙනෙක් වත් කලන්තය හැදෙන බව ගුරුවරු කියනවා. මේ දරුවන්ට නිසි ආහාර වේලක් නැතිව තිබෙන අතරේ ගුරුවරුත් කුසගින්නේ ඉන්නේ. පාසල්වල ඉන්න දරුවෝ සහ අඩු ආදායම් පවුල්වල දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ පෝෂණ වැඩසටහනක් තිබුණා. දිවා ආහාර වේල වෙනුවෙන් ඒ පාසල් දරුවන්ට රුපියල් 30/-ක් දවසකට වෙන්කර තිබුණා. අද බිත්තරයක් රුපියල් 50/-ක් වෙනවා. දැන් ඒ වැඩසටහනත් නවත්වලා තිබෙන්නේ. දරුවෝ බඩගින්නේ ඉන්න නිසා ඔවුන්ට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැහැ. බඩගින්නේ ඉන්න මේ දරුවන්ට සූම් තාක්ෂණය ඔස්සේ උගන්වන්න ආණ්ඩුව යෝජනා කරනවා. දරාගන්න බැරි ආර්ථික ප්‍රශ්න තිබියදී බදු බර වැඩි කර තවත් පීඩාවට පත්කර තිබෙනවා. ඒ වගේම ඔන්ලයින් අධ්‍යාපනයට සිග්නල් නැතිවීමෙන් තව පැත්තකින් ප්‍රශ්න ඇතිවී තිබෙනවා. නගර සීමාවෙන් පිට අයට සංඥා කුලුනු නැතිවීමෙන් ඇතිවන තත්වයට ආණ්ඩුව කිසිදු විසඳුමක් දෙන්නේ නැහැ.

මේ විදිහට දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමේ වගකීම ආණ්ඩුව 100%ක් බාර ගන්න ඕනෑ. මේ රටේ ගුරුවරුන්ට වගේම දෙමාපියන්ට අපි මේ කරුණු අවධාරණය කරනවා. තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන වැඩපිළිවෙළක් ආණ්ඩුව හදන්නේ නැත්නම් ඒ අයිතිය වෙනුවෙන් පෙරට එන්න ඕනෑ. පාර්ලිමේන්තුව, තැබෑරුම් ඇරලා පාසල් වහන ආණ්ඩුවකින් වැඩක් නැහැ. පාසල් තවදුරටත් වහනවා නම් පාරට බහින්න කියලා දෙමාපියන්ට ආරාධනා කරනවා. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන එක ආණ්ඩුව වරද්දගන්න ප්‍රධාන තැනයි. මේ හමුවේ තවත් නිහඬව නොඉඳ පාරට බහින්න අපි සියලු දෙනාම සූදානම්.”

ලයිට්, ගෑස් ප්‍රශ්න කතා නොකර දරුවන්ගේ පෝෂණය ගැන කතා කරන්න බැහැ
ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ විධායක කමිටු සාමාජිකා ව්‍රායි කැලී බල්තසාර්

“අපේ මුළු ජීවිතයම, අපේ මුළු ලෝකයම කැරකෙන්නේ අපේ දරුවෝ වටේ. නමුත් මේ දරුවන්ගේ අධ්‍යාපනය, පෝෂණය පැත්තකට දාලා ආණ්ඩුව ක්‍රියාකරන බව අපට පැහැදිලියි. ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවෙන් විසඳුම නොදීම නිසා දරුවන්ගේ ආහාර වේල සම්බන්ධයෙන් බරපතළ තත්වයක් ඇති වී තිබෙනවා. පොහොර සම්බන්ධයෙන් ගත්ත වැරදි ක්‍රියාමාර්ග නිසා ආහාර නිෂ්පාදනය විශාල වශයෙන් බිඳවැටිලා. උදාහරණයක් හැටියට කිකිළියන්ට අවශ්‍ය කෑම දෙන්න බැරි නිසා බිත්තර මිල විශාල වශයෙන් වැඩිවී තිබෙනවා. ගිය අවුරුද්දේ ඔක්තෝබර්වල රුපියල් 17/-ට තිබුණු බිත්තරයක් අද වෙනකොට රුපියල් 50/-යි. මේ නිසා බිත්තරයක් දෙකට හෝ හතරට කපලා දරුවන්ට බෙදා දෙනවා. මේ නිසා අම්මත් දරුවොත් මන්දපෝෂණයෙන් ඉන්නේ. ඒ නිසාම ඉක්මනින් රෝගවලට ගොදුරු වෙනවා.

ඒ වගේම ලයිට්, ගෑස් ප්‍රශ්නත් එක්ක දරුවන්ගේ පෝෂණය ගැටගැහිලා තිබෙනවා. මේ ප්‍රශ්න ගැන කතා නොකර දරුවන්ගේ පෝෂණය ගැන කතා කරන්න බැහැ. ඉස්සර වගේ උයන්න, පිහන්න බැරි ප්‍රශ්නය නිසා එක කෑමක් උයාගෙන ගෑස් නැත්නම් ලයිට් නැත්නම් දර ප්‍රවේසම් කර ගන්නවා. ලංකාවේ මන්දපෝෂණය දකුණු ආසියානු කලාපයෙන් දෙවන ස්ථානයේ ඉන්නේ. මේ වෙනකොට ඒ තත්වය තවත් උග්‍රවෙලා. ආර්ථික අර්බුදය හමුවේ අලුතින්ම නිසි පෝෂණයක් නැති දරුවන් අතරට දරුවන් පස්දෙනෙකුගෙන් දෙදෙනෙකු අලුතින්ම එකතු වී තිබෙනවා. ළඟදී කළ පරීක්ෂණයකින් හෙළිවී තිබෙන්නේ ආර්ථික අර්බුදය ඇතිවූ පසුව දරුවන් 17%ක් අලුතින්ම මන්දපෝෂණයට එකතු වී ඇති බවයි. ඒ වගේම රටේ පවුල්වලින් 70%ක ආහාර පරිභෝජන රටාව වෙනස් වී තිබෙනවා. එක වේලක් හෝ දෙවේලක් කෑම ගන්න මට්ටමට පත්වෙලා. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ආහාර නොගෙන සිටීම, ආහාර විවිධත්වය අහිමි වීම සිදුවී තිබෙනවා. මේ නිසා පලතුරු හෝ වෙනත් අමතර පෝෂණයට අදාළ ආහාර මිලදී ගැනීමට නොහැකි වී තිබෙනවා. අවශ්‍යම ආහාර පමණක් මිලදී ගන්නවා. මීට කලින් දවසකට ලබාගත් ආහාර ප්‍රමාණය සතියකටම ලබාගන්න තත්වයක් තියෙන්නේ.

මිඩ්වයිෆ් නිර්දේශ කර තිබෙන පෝෂණීය ආහාර වේල කිසිසේත්ම ලබාගන්න බැරිවී තිබෙනවා. මාතෘ සායනයේදී නිර්දේශ කර තිබෙන පෝෂණීය ආහාර කිසිවක් ලබාගන්න බැරිවී තිබෙනවා. වැඩිහිටියන් මාළු නොකෑවත් දරුවන්ට මාළු පෙත්තක් වෙන්කරන තැනක හිටියේ. දැන් ඒ තත්වයත් සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. අවුරුදු ගණනාවක් තිබුණු ප්‍රශ්න දැන් බරපතළ ලෙස උග්‍රවෙලා. අපේ අනාගතය දරුවන් බව කීවත් මේ ආණ්ඩු දරුවන් ප්‍රමුඛ කරගත්තේ නැති බව දැන් පැහැදිලි වී තිබෙනවා.

ගර්භනී මව්වරු සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න ඇතිවී තිබෙනවා. පෝෂණීය ආහාර මල්ලක්, ත්‍රීපෝෂ ආහාර ඔවුන්ට කාලයක් ලබාදුන්නත් දැන් ඒවාත් ලැබෙන්නේ නැහැ. මව්වරුන්ගේ පෝෂණය බිඳවැටීමෙන් උපදින දරුවනුත් මන්දපෝෂණයෙන් පෙළෙනවා. ගෑස්, ලයිට් ප්‍රශ්න වෙනම පවතින බව දැනුනත් මේ හැම දෙයක්ම එකිනෙකට බැඳිලා තිබෙනවා. මේ ප්‍රශ්න ගැන කතා නොකර පෝෂණය ගැන කතා කරන්න බැහැ. උදාහරණයක් හැටියට නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලාවලට ලයිට් කැපීමෙන් බරපතළ තත්වයක් තිබෙනවා. නමුත් ඒ සේවිකාවන්ට ඉලක්ක සම්පූර්ණ කරන්න ඕනෑ. මේ නිසා රෑට පවා අමතර ගෙවීමක් නැතිව වැඩකිරීමට සිදුවී තිබෙනවා. රෑ නවය, දහය වෙනතුරු වැඩකරන්න වීම නිසා සමහර විට දරුවන්ව ගමට ගිහින් දෙමාපියන්ට බාරදීලා එනවා. මේ කිසිදු ප්‍රශ්නයකට ආණ්ඩුවෙන් විසඳුම් ලබාදී නැහැ. මේ නිසා පුරවැසියෝ හැටියට දරුවන්ට ප්‍රමුඛතාවය දෙන ලෙස ආණ්ඩුවට බලකරන්න ඕනෑ. දරුවෝ වෙනුවෙන් සහකම්පනයෙන් වැඩකරන්න කියලා ආණ්ඩුවට බලකරන්න ඕනෑ.”

අපේ දරුවන් වෙනුවෙන් ප්‍රමුඛතාව දෙන්න බැරි ආණ්ඩුවකින් වැඩක් නැහැ
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනී අමරසූරිය

“මේ වෙනකොටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කණ්ඩායමක් ඇවිත් අගමැති එක්ක සාකච්ඡා කරනවා. නමුත් මේ සියලු ගැටලු අවසානයේ බලපාන්නේ රටේ පුරවැසියන්ටයි. ඒ අයට සිදුවන්නේ කුමක්ද කියලා කිසිම සහකම්පනයක් නැතිව පාලකයන් කටයුතු කරනවා. මෙයින් වැඩි වශයෙන් පීඩාවට පත්වන්නේ තමන් වෙනුවෙන් පෙනී සිටින්න බැරි කණ්ඩායමක් වන දරුවන්ටයි. ඒ අය වෙනුවෙන් වැඩිහිටියන් පෙනී සිටියොත් මිස ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් නැහැ. අපේ සංස්කෘතිය තුළ, අපේ පවුල තුළ දරුවන් ප්‍රමුඛ බව කීවත් එය යථාර්ථය නොවෙයි. අවුරුදු 74ක් තිස්සේ බලයේ සිටියේ මේ දරුවන්ට ප්‍රමුඛතාව නොදෙන ආණ්ඩුයි. පවතින අර්බුදය තුළ මේ ගැටලු භයානක වී තිබෙනවා. මේ තත්වය බලපාන්නේ වර්තමානයට වඩා අනාගතයටයි.

විශේෂයෙන්ම අධ්‍යාපන ක්‍රියාවලිය පසුගිය අවුරුදු දෙකහමාර තුළම අවුල්වෙලා තිබෙන්නේ. කෝවිඩ් නිසාත් දැන් ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය නිසාත් දරුවන් පාසල් ගිය දින ප්‍රමාණය අඩුවෙලා තිබුණත් විභාග ක්‍රමය එහෙම්මම ගෙනයනවා. පැවැති සාමාන්‍ය පෙළ විභාගය සමස්ත විෂය නිර්දේශයම ආවරණය වෙන්න සකස් කර තිබුණා. නමුත් පාසල් පැවැත්වූයේ දින කීයක්ද? ආණ්ඩුව කියන්නේ ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය දුන් බවයි. නමුත් එයින් ආවරණය වූ ප්‍රමාණය ගැන කෝපා කමිටුවේ පවා හෙළිවුණේ ඉගෙනුම් ක්‍රියාවලියෙන් 80%ක් අහිමි වී තිබෙන බවයි. නමුත් විභාග පවත්වන්නේ 100%ක විෂය ආවරණය කරන්නයි. පාසල්වලට අමතරව ටියුෂන් පන්තිවලට යාමත් අර්බුදයට ගිහින් තිබෙන්නේ. අධ්‍යාපනය ක්‍රමය විභාග කේන්ද්‍රීය කර විභාග සමත්වීමට ටියුෂන් ක්‍රමය සකසා තිබුණා. දැන් පාසල්වලට පමණක් නොව ටියුෂන් පංතිවලට, ජාත්‍යන්තර පාසල්වලටත් දරුවන්ව යවා අධ්‍යාපනය ලබාදීමට නොහැකි වී තිබෙනවා. විශ්වවිද්‍යාලවල ප්‍රශ්න කතා නොකර පාසල් ගැන විතරක් කතා කළත් තිබෙන්නේ ඉතාම බරපතළ තත්වයක්. මේ තත්වය තුළ අධ්‍යාපනය පවත්වාගෙන යන්නේ කොහොමද කියලා ආණ්ඩුවට කිසිම හැඟීමක් නැති බව නැවත නැවත ඔප්පු කරමින් ඉන්නවා.

පාලකයන් අවධානය යොමු නොකළත් ජනතාව තේරුම්ගත යුත්තේ දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වෙන්නේ අහම්බෙන් හෝ ස්වභාවික හේතු නිසා නොවන බවයි. නායකයන්ගේ නොසැලකිල්ලෙන් දරුවන්ගේ ජීවිත විනාශ වන බව තේරුම් ගන්න ඕනෑ. ඒ වගකීම දෙමාපියන් බාර ගන්න ඕනෑ නැහැ. මේ නායකයන්ට කවදා හරි මේවාට උත්තර දෙන්න වෙයි කියලා අවධාරණය කරනවා. පවතින තත්වය හමුවේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය විශාල වශයෙන් බිඳවැටී තිබෙනවා. ඔවුන්ව රැකබලා ගන්නා මාපියන්ගේ ජීවිත ඇදවැටීම දරුවන්ටත් විශාල වශයෙන් බලපානවා. ළමා හිංසනය කෝවිඩ් කාලයේ වගේම නැවත ඇතිවෙමින් තිබෙනවා. මෙවැනි අර්බුදකාරී පීඩා සහිත වටපිටාවක මානසික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් විය යුතුයි. නමුත් මේවා අවශ්‍යතා හැටියටවත් ආණ්ඩුව සලකන්නේ නැහැ. මනෝ සමාජීය සේවාවන් අපේ රටේ කොහොමටත් දුර්වලයි. ඒ දුර්වල තත්වයවත් පාසල් පද්ධතිය තුළත් ප්‍රජාවන් තුළත් දැන් සම්පූර්ණයෙන් බිඳවැටිලා. මේ නිසා සියදිවි නසා ගැනීම්, තමන්ට තමන්ව එපාවීම වැඩිවෙමින් තිබෙනවා. මේවා දත්ත විතරක් නොවෙයි. මිනිස් ජීවිත. මිනිස් ජීවිත රැකගන්න යොමුකරන අවධානයට වඩා ආණ්ඩුව යොමු කරන්නේ පුරවැසියන්ට එරෙහිව මර්දනය යොදවන්නයි. ආර්ථික අර්බුදය මැද්දෙත් මර්දනය වෙනුවෙන් යොදවන්න මුදල් ආණ්ඩුවට තිබෙනවා.

මේ ආණ්ඩු ජනතාව වෙනුවෙන් ක්‍රියාකරන ආණ්ඩු නොවෙයි, ඔවුන්ගේ බලය තහවුරු කරන මානසිකත්වයෙන් පෙළෙන්නන් බව යළි යළිත් ඔප්පු කරනවා. ජනතාවගේ පීඩනය අඩුකර ප්‍රශ්න විසඳීමේ අවශ්‍යතාවයත් ඔවුන්ට නැහැ. ඒ නිසා පුරවැසියන්ට සිදුවී තිබෙන්නේ තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට පාරට බැසීමටයි. ආණ්ඩුවක් තිබෙන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න වුණත් එහෙම ආණ්ඩුවක් අපට නැහැ. රනිල් වික්‍රමසිංහ මේ සියලු තත්වයන් දැනගෙන තනතුර බාරගත්තා නම්, ඒ වගකීම් ඉටුකරන්න කියලා අපි බලකරනවා. පුරවැසියන් නිහඬ කරන්න ආණ්ඩුව දියත් කරන මර්දනය නොතකා අපි සංවිධානය විය යුතුයි. තමන්ගේ හඬ නැගිය නොහැකි දරුවන් සහ වැඩිහිටි කණ්ඩායම් වෙනුවෙනුත් අරගල කරන්න අපට සිදුවී තිබෙනවා. මානුෂීය පැත්ත කල්පනා කර, අපි සියලු දෙනාම එකතු විය යුතුයි. ඒ වෙනුවෙනු අපේ හඬ අවදි කරමු කියලා අවධාරණය කරනවා. දරුවන් නැති ලෝකයක් අපිට හිතාගන්න බැහැ. අපේ ජීවිතයට අර්ථයක් දෙන්නේ ඔවුන්. දරුවන් වෙනුවෙන් ප්‍රමුඛතාවයක් දෙන්න බැරි ආණ්ඩුවලින් වැඩක් නැහැ.”

මාධ්‍යවේදී ප්‍රශ්නවලට පිළිතුරු
ප්‍රශ්නය:- මේ වනවිට ප්‍රශ්න ගොඩකට මැදිවී සිටින දෙමාපියන් පාරට බැසිය යුතුයි කියන එක සාධාරණයිද?

පිළිතුරු:- දැන් අපි කොහොමටත් මහපාරේ ඉන්නේ. දරුවොත් අරගෙන කිරිපිටි, ගෑස්, තෙල් පෝලිම්වල ඉන්නේ. එතකොට අනාරක්ෂිත ද? මේ සම්බන්ධ තොරතුරු අපි කොච්චරවත් දැකලා තිබෙනවා. එතකොට තවදුරටත් අපිට ගෙවල්වලට වෙලා ඉන්න බැහැ. ගෙවල් ඇතුළෙත් අනාරක්ෂිතයි. එළියෙත් අනාරක්ෂිතයි. මිනිස්සු වැඩට යන්නේ නැත්තේ ඔවුන්ගේ කැමැත්ත නිසා නොවෙයි ප්‍රවාහන ප්‍රශ්න නිසා.

ප්‍රශ්නය:- හැමෝම ප්‍රශ්නය කියනවා. ප්‍රශ්නයට උත්තරයක් කියන්නේ නැහැ. මේ තත්වයට වගකියන්න ඕනෑ කවුද?

පිළිතුරු:- මේ ආණ්ඩුව සහ නායකයන් ක්‍රියාත්මක කළ දේවල් නිසයි මේ තත්වය ඇතිවී තිබෙන්නේ. මේක ස්වභාවික හෝ අහඹු අර්බුදයක් නොවෙයි. පාලකයන් ගත්ත තීරණවල ප්‍රතිඵල. මේ මොහොතේ ඉන්න නායකයන් වගේම මෙතෙක් සිටි නායකයනුත් වගකියන්න ඕනෑ. මේ ප්‍රශ්න විසඳන්න හැකියාව තිබෙන ජනතාවාදී පාලනයක් පිහිටුවන්නේ නැතිව මේ නායකයන්ගෙන් කිසිසේත්ම විසඳුම් බලාපොරොත්තු වෙන්න බැහැ. ජාතික ජන බලවේගයේ හැටියට විසඳුම් සෙවීමේ යෝජනා අපි ඉදිරිපත් කළා. එයින් කළබල වී එක මන්ත්‍රී ධුරයක් තිබෙන රනිල් වික්‍රමසිංහට අගමැතිකම දුන්නා. අපිට මේ අර්බුදය කළමනාකරණය කරන්න අනිවාර්යයෙන්ම පුළුවන්. මේ ආණ්ඩුවටත් අද පවා මෙය කළමනාකරණය කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට තිබෙන භාණ්ඩ ටික නිසි ආකාරයෙන් කළමනාකරණය කර, බෙදාහැරීමේ හැකියාව තිබෙනවා. තෙල් ගහන්න දින ගණන් පෝලිමේ ඉන්න ඕනෑ නැහැ. අද තිබෙන තාක්ෂණය පාවිච්චි කර පහසුවෙන්ම කරන්න පුළුවන්. නමුත් මේ නායකයන් ඉන්නේ මේ ප්‍රශ්න විසඳන්න නොවෙයි.

ප්‍රශ්නය:- විරෝධතා පවත්වලා විසඳුම් දෙන්නේ කොහොමද?

පිළිතුරු:- ප්‍රශ්නය තිබෙන්නේ පාලකයන්ගෙන් නම්, මේ පාලනය වෙනස් නොකර විසඳුම් දෙන්න බැහැ. ජනාධිපති අසමත් කෙනෙක් හැටියට යන්න කැමති නැති බව කියා තිබුණා. මේක ජනතාව ගැන හිතලා ක්‍රියාත්මක කරන දෙයක් නොවෙයි. ඔහුගේ පෞද්ගලික ප්‍රශ්නයක් විසඳා ගන්න මුළු රටක ජනතාවක් වන්දි ගෙවන්න වුවමනා නැහැ. මිනිස්සු පාරට බහින්නේ අපි කියලා නොවෙයි. කාටවත් එහෙම මිනිසුන්ව පාරට බස්සවන්න බැහැ. මිනිස්සුන්ට ඇත්ත පීඩනයක් තිබෙනවා. ඒ පීඩනයත් එක්ක එළියට බැසීම අතිශයින්ම ස්වභාවිකයි. ඒ තේරුම් ගන්න බැරි ආණ්ඩුවක් නම් ඉන්නේ ඒක වෙනස් නොකර විසඳුම් සොයන්න බැහැ. ජනතාවගේ විශ්වාසයක් තිබෙන පාලනයක් බිහි නොකර ජාත්‍යන්තර විශ්වාසය දිනාගන්නේ කොහොමද? අයි.එම්.එෆ්. එක මෙහෙට ඇවිත් සාකච්ඡා කරමින් ඉන්න අතර ගෝටාගෝගම ඉන්න අරගලකරුවන්ව බස්වල පටවලා ගෙනියනවා. එක කාමරයක ඉඳගෙන සාකච්ඡා කරන අතර, අනික් පැත්තෙන් තමන්ගේ පීඩනය පිටකරන ජනතාව මර්දනය කරනවා. එතකොට ජාත්‍යන්තර විශ්වාසය දිනාගන්නේ කොහොමද?

Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *