Latestදේශීය

නවක වදය සහ ප්‍රචන්ඩත්වය සම්බන්ධයෙන් අන්තරය කරුණු දක්වයි

මාධ්‍ය නිවේදනය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුම්කාරී සිදුවීමක් පාදක කරගනිමින් නවකවදය පිළිබඳ සංවාදයක් නැවත වටයකින් ආරම්භ වී තිබේ. උක්ත ගැටුම්කාරී සිදුවීම අ.වි.ශි.බ.ම විසින් කිසිසේත් සාධාරණීකරණය කරන්නේ හෝ අනුමත කරන්නේ නැත. එවැනි සිදුවීම් පිටුදැකිය යුතු සේම නැවත ඇති වීමට කිසිසේත් ඉඩ නොදිය යුතුය. නවකවදය හෝ ප්‍රචණ්ඩත්වය හෝ විශ්වවිද්‍යාල සංස්කෘතිය තුළ තිබිය යුතු නැත. එවන් පසුගාමී සංස්කෘතික ලක්ෂණ විශ්ව විද්‍යාල තුළින් තුරන් කිරීමට පසුගිය කාලයක් පුරා ශිෂ්‍ය ව්‍යාරයට විශාල වෙහෙසක් දැරීමට සිදුවිය.

පසුගාමීත්වය පරාජය කිරීමට ශිෂය ව්‍යාපාරය දායකත්වය ලබාදෙන්නේ කෙසේද යන්න පිළිබඳව සිසුන්, ආචාර්යවරුන්, අනධ්‍යන කාර්යමණ්ඩල ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රජාවට ප්‍රමාණවත් අදහසක් තිබේ. එහෙයින් උක්ත සිදුවීම්වලට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ අනුබලයක් නොමැති බව විශ්වවිද්‍යාල ප්‍රජාව පැහැදිලිවම දනී. නමුත් විශ්වවිද්‍යාල තුළ පසුගාමී සංස්කෘතික අගතීන් තවදුරටත් ශේෂව පවතින බවත් ඒවා මුළුමනින් ම තුරන් කිරීමට අප අසමත් වී ඇති බවත් පිළිගන්නා අතර පසුගාමීත්වය පරාජය කිරීම සඳහා තවදුරටත් වගකීම් සහගතව මැදිහත් වීමට ද කිසිසේත් පසුබට වන්නේ නැත.

නවකවදය තුරන් කිරීම පිළිබඳව මතුව ඇති සංවාදයේදී ‘විශ්වවිද්‍යාල තුළ ප්‍රචණ්ඩත්වය’ පමණක් වියුක්තව ගෙන සාකච්ඡා  කිරීමෙන් කිසිඳු ප්‍රතිඵලයක් අත් වන්නේ නැත. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා  ද පොදු සමාජයේම කොටසක් වන බව අමතක නොකළ යුතුය. විශ්වවිද්‍යාල ද ඇතුළත් සමස්ත සමාජයම ප්‍රචණ්ඩකාරී අඳුරක ගිලී පවතින්නකි. මෙය මෑත ඉතිහාසයේ අවස්ථා කීපයකදී ම සන්නද්ධ අරගලවලට මැදිහත් වුණු සමාජයකි.

බරපතල ආර්ථික, දේශපාලන, සංස්කෘතික පීඩනයක් පවතින සහ ඒ නිසාවෙන්ම බරපතල අසහනකාරීත්වයක ගොදුරක් බවට ඇද වැටුණු සමාජයකි. විශේෂයෙන් ම මේ සියල්ල අභිබවා බලය හසුරුවන පාලකයින් විසින් විශාල දේශපාලන ප්‍රචණ්ඩත්වයක් ජනතාව මත මුදාහරින සමාජයකි. එහෙයින් නවකවදය යනු පැතිරුණු සමාජ ප්‍රචණ්ඩත්වයක් සහ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයක් සහිත සමාජයක තවත් එක් ප්‍රකාශනයක් පමණි.

විශ්වවිද්‍යාලවලට පැමිණෙන්නේ සාමාන්‍ය සමාජයේ ජීවත් වන පුද්ගලයන් ම ය. ඔවුන් විශ්වවිද්‍යාලය තුළදී සිසුන් වනවා සේ ම පොදු සමාජයේ සාමාජිකයන් ද වෙයි. එහෙයින් නවකවදය තුරන් කිරීමට විශ්වවිදයාල තුළ පමණක් ක්‍රියාකාරී වීම ප්‍රමාණවත් හෝ යථාර්ථවාදී වන්නේ නැත. විශ්වවිද්‍යාල තුළ නවකවදය තුරන් කිරීම සමස්ත සමාජයේ ම පවතින ප්‍රචණ්ඩත්වය හා සංස්කෘතික අගතීන් පරාජය කිරීමේ පොදු අරගලයේ ම කොටසකි.

නවකවදය පිළිබඳව කලින් කලට සමාජය තුළ ඇතිවන සංවාදයට පාර්ශව දෙකක් ප්‍රවේශයන් දෙකකින් මැදිහත් වන බව පැහැදිලිව ම හඳුනාගත හැකිය. පළමුවැනි ප්‍රවේශය විශ්වවිද්‍යාල තුළින් පසුගාමීත්වය තුරන් කිරීම සඳහා අවංක චේතනාවෙන් මැදිහත්වන පිරිසයි. එම මැදිහත්වීම සාධනීය ලෙස වැළඳගන්නා අතර ම වඩා ඉදිරිගාමී, ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතික ප්‍රවේශයන් විශ්වවිද්‍යාල තුළ නිර්මාණය කිරීමට ඔවුන් හා එක් වීමට කිසිසේත් අප පැකිළෙන්නේ නැත.

දෙවැනි ප්‍රවේශය මෙවැනි හුදෙකලා සිදුවීම් හා පවතින තත්ත්වයන් පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් දැනුවත්ව පාවිච්චි කරන පිරිසයි. නවකවදයට එරෙහිව හඩ නගන්නන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් සිටින්නේ මෙවැනි යටි අරමුණු සහිත පිරිස් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණකි.  ශිෂ්‍ය ව්‍යාපාරයේ අඛණ්ඩ සංවිධාන ශක්තිය, පසුගිය ජනතා අරගලයේදී එය විසින් ඉටු කළ නායකත්ව කාර්යභාරය දරාගත නොහැකිව ත්‍රස්ත පනත වැනි අතිශය ප්‍රජාතන්ත්‍ර  විරෝධී අණපනත් භාවිතා කරමින් සිදුකරන මර්දනය සාධාරණීකරණය කරමින් නවකවදයට එරෙහිවීම විහිළුවකි. එවැනි මැදිහත්වීම්වල සැබෑ අරමුණ නවකවදය පරාජය කිරීමට නොව එයට පවතින්නට ඉඩ දෙමින් ශිෂ්‍ය ව්‍යාපාරය දෙසට තර්ජනාංගුලිය දිගු කරන, මාධ්‍ය  සංදර්ශන පවත්වන එවැනි මැදිහත්වීම් නවකවදය තරමටම අප තරයේ හෙළා දකිමු.

එහෙයින් නවකවදය තුරන් කිරීමට අවංක චේතනාවෙන් කටයුතු කරන පිරිස් වෙතින් මෙම තත්ත්වයන් නිවැරදිව හඳුනාගන්නා ලෙසත්, ඒ ඒ පාර්ශවවල අරමුණු පැහැදිලිව හඳුනාගනිමින් දැනුවත්ව මැදිහත්වීම් සිදුකරන ලෙසත් අප සහෝදරාත්මකව ඉල්ලා සිටිමු. එසේ ම නවකවදය ඇතුළු සංස්කෘතික පසුගාමීත්වයන් පරාජය කිරීම උදෙසා අපගේ දායකත්වය උපරිම වශයෙන් ලබා දෙන බව ද සඳහන් කර සිටිමු.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?