සුජිත් රත්නායක නම් ලංකාවට ඔරොත්තු නොදෙන කලා පෞරුෂය
(සනත් බාලසූරිය)
සුජිත් රත්නායක කියන්නේ මට තේරෙන විදියට ලංකාවට ඔරොත්තු නොදෙන කලා පෞරුෂයක්.
භාෂාව මත යැපෙන හා භාෂාව මත යැපීමේ හැකියාව ඇති සාහිත්‍යය, නාට්‍යය, සිනමාව වගේ කලාවන්ට වෙනස්ව, භාෂාව මත යැපෙන්නේ නැති සංගීතය (සින්දු එහෙම නෙමෛයි) චිත්‍රකකලාව වගේ කලාවන් සමස්තයක් වශයෙන් ලංකාවට එහෙමකට ඔරොත්තු දෙන්නේ නැති බවයි මට හිතෙන්නේ
අනුරාධපුර යුගයේ ඉඳලා සීගිරි ගල හරහා කැලණිය – ගෝතමී විහාරය දක්වා බිතුසිතුවම් ඔස්සේ ආපු ‘ආගමික චිත්‍රකලාවක්’ කියල දෙයක් ගෙනහැර පාන්න පුළුවන් වුණත්, නූතනවාදී අර්ථයකින් ‘චිත්‍රකලාව’ ගැන ලංකාවට තියෙන්නේ ඉතාම දුප්පත් වත්කමක් කියන එකයි මගෙ අදහස.
සංගීතය වගේ තැනකට එනකොට ඒ දුප්පත්කම තවත් විසාලයි.
මෙතනදීම කියල ඉවරකරන්න ඕනැ දෙයක් තමයි, මං චිත්‍රකලාව ගැන මහලොකු දෙයක් දන්නෙ නැති, හුදෙක් චිත්‍ර රසවිඳින්නෙක් විතරයි කියන එක. ලෝකෙ නමගිය කලාගාර කිහිපයක රස්තියාදු ගහන්නනම් වරින් වර අවස්ථාව ලැබිල තියෙනවා. ඒ අත්දැකීම්වලින් සහ ඉන් ලද පෙළඹවීමෙන් – කුතුහලයෙන් තනියම කරපු සොයාබැලීම්වලින් එකතු කරගත් දුප්පත් දැනුමක් විතරයි මේ ගැන මට තියෙන්නේ.
ඒත් මං මෙතන උත්සාහ කරන්නෙ චිත්‍රකලා විචාරයක් කරන්න නොවන නිසා, සුජිත් රත්නායක කියන කලා පෞරුෂය කටුසටහනකට නඟන්න ඇවැසි පමණට විතරක්, සංස්ථාපිතයක් විදියට චිත්‍රකලාව ලංකාවෙ පවතින ආකාරය ගැන කරන දුරස්ත නිරීක්ෂණයක් විතරක් නිසා, චිත්‍රකලාව ගැන මහලොකු දැනුමක් නැතුවට මං කරන්න හදන දේ කරන්න බැරිකමක් නෑ.
ලංකාවෙ චිත්‍රකලාව කියන්නෙ ඉතාම සංවෘත, රහසිගත නිකායයන් සහිත ආගමික සංස්ථාවක් නම්, ඒකට පහුගිය කාලෙ බයනැතුව ගල්ගහපු, ඇඟිල්ල උරුක්කරල ගේම ඉල්ලපු ප්‍රමුඛතම සිත්තරෙක් තමයි සුජිත් රත්නායක කියන්නෙ.
කිසියම් සංස්ථාවක් ප්‍රශ්නකිරීමට ලක්වෙමින් තිබෙනවා නම්, ඒ ප්‍රශ්නකිරීමට නිරාවරණය නොවී හැංගිලා ඉන්න ගමන් තමන්ගෙ මහන්තත්තෙත් තියාගන්න ඒ සංස්ථාවට අනුගමනය කරන්න තියෙන ලේසිම ක්‍රමයක් තමයි උත්තර නොදී ඉන්න එක. හරියට ‘ඇහුණෙ නෑ,’ ‘දැක්කෙ නෑ’ වගේ.
ඇහුණෙ-දැක්කෙ නෑ කියල කියන්ඩම බැරි තැනකදි ‘උත්තර දෙන්ඩ තරම් දෙයක් නෑ’ වගේ ඉන්න එක.
දැන් භාෂාව ආත්මය හෝ අඩුතරමේ වාහකයක්වත් කරගත් සාහිත්‍යය, නාට්‍යය, සිනමාව වගේ තැනකදි මේ ‘ඇහුන්නෑ’ පාට්එක දිගින් දිගටම දානඑක ඒ තරම්ම ලේසි නොවෙන්න පුළුවන්. ඒත් චිත්‍රකලාව වගෙ භාෂාව මත යැපෙන්න අවශ්‍ය නැති කලාවකදි, විශේෂයෙන් ඒ කලාව රහසිගත ආගමික සංස්ථාපිතයක් වෙච්ච තත්ත්වයක් තුළදි, ඒ උත්තර නොදීමේ පාට්එක දාලා ප්‍රශ්න කරන්නා මගඇරලා දාන්න අමාරු නෑ.
ලෝකේ ඇත්තටම ඉන්නවා සහ තියෙනවා, උත්තර දීලා පලක් නැති ප්‍රශ්නකරන්නන් සහ ප්‍රශ්න. ඒ තමනුත් ඉන්නබව කියන්න අහන ප්‍රශ්න සහ තමන්ගෙ අනන්‍යතාව ඉල්ලා මරාගෙන මැරෙන්ඩ හදන ප්‍රශ්නකරන්නන්. ඒ ප්‍රශ්නවලට උත්තර නොදී හිටපුවාම ඒ ඝෝෂකයන්ට ආත්මයක් නැති වෙනවා. ඒ නිසා ඒක ඔවුන්ට මරාගෙන මැරෙන්න තරම් දෙයක්.
ඒත් ආත්ම නැති අයට ආත්ම දන්දීමේ විශේෂ පාරමිතාවක් පුරන්නේ නැතිනම් ඒ ප්‍රශ්න හා ප්‍රශ්නකරන්නන් මගහැර යාම මහලොකු දෙයක් නෙවෙයි.
ඒත් සුජිත් ලංකාවේ චිත්‍රකලාව, එහි බලකණු අරබයා පහුගිය කාලය පුරා නගමින් ඉන්න ප්‍රශ්න කිසිම විදියකින් ඒ තැනින් ගන්න බෑ. ඔහු තමන්ගේ අනන්‍යතා අර්බුදයක් ජයගන්න ප්‍රශ්න අහන්නෙක් නෙවෙයි. ඔහු ප්‍රශ්න අහන්නේ ලංකාවේ චිත්‍රකලාවේ අනන්‍යතා අර්බුදය ඊටම සම්මුඛ කරවන්න.
සමහරු ඉන්නවා තමන්ගේ ක්ෂේත්‍රයේ වැඩ කරන්නෙ නැතුව ප්‍රශ්න අහන එක, පාරම්බාන එක, කටමැත දොඩෝන එක විතරක් කරන. සුජිත් ඒ ගොඩට දාන්න කාටවත් බැරි ඔහු වැඩකරන, ඇත්ත වැඩකාරයෙක් හින්දා. සුජිත්ගෙ තියෙන්නෙ සද්දෙ විතරක් නෙවෙයි. බරසාර වැඩත් තියෙනවා. ඒවා බය නැතුව එළියටත් දානවා. ඒ අතර අර ගේමත් නොකඩවා ඉල්ලනවා.
ඇත්තටම සුජිත් රත්නායක අතින් ප්‍රශ්න කැරන්නෙ ලාංකේය චිත්‍රකලාවේ බල ස්ථාපිතය විතරක් නෙවෙයි.
තනිකරම විකෘතියක් වුණු ලංකාවේ සමස්ත බල ආධිපත්‍යය!
“අර්බුදය සහ අරගලය” කියන්නේ ඒ ප්‍රශ්නකිරීමේ සිත්තර ප්‍රකාශනය ඇර වෙන මොකද්ද?
සුජිත් රත්නායක කියන්නේ ලංකාවට ඔරොත්තු නොදෙන කලා පෞරුෂයක් කියලා මං කියන්නේ මේ දෙපැත්තම ගැන සලකලා යි. එක අතකින් ඔහුගේ කලා නිර්මාණත් ලංකාව වගේ පෞරුෂ හීන සමාජයකට දරාගන්න අමාරුයි.
අනිත් අතින් සුජිත් තමන්ගේ වැඩ අතරම, ඒවායෙන් ටිකක් එළියට ඇවිත් ඉල්ලන ගේමත් ලංකාවේ භින්න පෞරුෂ සමාජයට දරාගන්න අමාරුයි.
එතකොට කරන්ඩ තියෙන හොඳම දේ රටේ භින්න පෞරුෂයට, පෞරුෂ හීනමානයට ගැලපෙන මිම්මට සුජිත් වගේ අනම්‍ය පෞරුෂ කපාගැනීම යි. ඒකට ලංකාවෙ තක්කඩි ක්‍රමය දන්න හොඳම විදිය තමයි ඇහුණෙ නෑ, දැක්කෙ නෑ වගේ ඉන්න එක.
සුජිත් කොහේදෝ තැනක කියනවා මට ඇහුණා තමන් පහුගිය අවුරුද්දේ ‘ජන අරගලය’ නමින් හැඳින්වෙන සංසිද්ධිය වෙනතුරු ලංකාවේ සිදුවූ ‘ජනතා අරගල’ නමින් හැඳින්වෙන ක්‍රියාකාරකම්වල එහෙමකට සක්‍රියව නොහිටපු බව. ඔහු අද ඔහුගෙ කලා ප්‍රදර්ශනයට ප්‍රස්තුත සපයන පහුගිය ‘ජන අරගලය’ ඇතුළෙ ඒ තරම් බොක්කෙන්ම ඉන්න ඇත්තේ සමහර විට අරගල අස්සේ තෙම්පරාදු වෙලා නොහිටපු හින්දා වෙන්නත් පුළුවන් කියලා හුඟක් ඈත ඉන්න මට නිකමට හිතෙනවා.
සුජිත් තවත් වැදගත් කතාවක් කොහේ හෝ තැනක කියල තියෙනවා දැක්කා. ඒ තමයි ‘මේ ප්‍රදර්ශනය තමන්ගේ කලා භාවිතාවේ කිසියම් අපගමනයක් සටහන් කරනවා වෙන්නත් පුළුවන්’ කියන එක. ප්‍රදර්ශනටය අදාළ කිසිම දෙයක් නොදැක වුණත් මට සුජිත්ගේ ඒ ප්‍රකාශය ඇත්තක් වියහැකි බව ඉවකරන්න පුළුවන්. හැබැයි තමන්ගේ ‘කලාභාවිතාවේ’ අපගමනයක් වියහැකි බව දැන දැනත් ‘පොදු ජන අවකාශයකට අදාළව කළ කලා වැඩ සහිතව කලා ප්‍රදර්ශනයක්’ තියන්න ‘කලාකාරයෙකුට’ පුළුවන් වෙන්නේ තමන්ගේ හෝ තමන්ගේ අභ්‍යන්තරයේ අරගලයක නොව, ‘ජන අරගලයක’ ඇත්තට හිටගත්ත පෞරුෂයක් තියෙනවනම් විතරයි කියන එකයි මගෙ අදහස.
මට මතක විදියට මං ලංකාවෙදි සුජිත්ව කවදාවත් හම්බවෙලා කතාබස් කරලා නෑ.
ලංකාව කියන්නෙ කුරුම්බැට්ටියක් විතර එකක් හින්දා, කොළඹ නගරය කියන්නේ ගම්මිරිස් ඇටයක් වගේ තැනක් හින්දා අපි එකිනෙකා එක්ක සමාන්තරව ටික දුරක් ඇවිදලාත් ඇති. නැත්නම් එකිනෙකාට මුහුණ ලා විරුද්ධ දිසාවලට හරි, එකිනෙකාගේ ගමන්මාර්ග කපාගෙන කෝණාකාරව හරි ඇවිදලාත් ඇති. හරියට දන්නෙ අඳුනන්නෙත් නැතුවත් ‘ඉඳා බීහං…’ කියලා සිගරැට් කොටයක්, ප්ලේන්ටි බාගයක් බෙදාගෙන තියෙන්ඩත් පුළුවන්.
ඒත් අපි අතර නිශ්චිත සම්මුඛයක් වෙච්ච බවක් මගෙ මතකයේ නෑ.
මං සුජිත් එක්ක කතාකරල තියෙන්නෙත් බොහොම අල්ප වාර ගණනක් විතරයි.
ඇත්තම කියනවනං, සුජිතුයි මායි ආයෙ කවදාවත් භෞතිකව හම්බවෙයිද කියල කියන්ඩත් මං දන්නෙ නෑ.
හැබැයි එහෙම තියෙද්දිත් සුජිත්ව මට දැනෙන්නෙ එක සහෝදරත්වය බෙදාගෙන, එක ළඟින් කාලයක් ඉතාම දුෂ්කර ගමන් මඟක නොසිඳෙන ධෛර්යයෙන් ඇවිදන් ගිය සගයකු වෙතින් දැනෙන දේ වගේ දෙයක්.
බැරිවෙලාවත් මං සුජිත්ගෙ මේ ප්‍රදර්ශනය බලන්ඩ එන්ඩ පුළුවන් තත්ත්වෙක හිටියනං, අනිවාර්යයෙන් මං එතෙන්ට එනවා. ඇවිත් ඌ මේ කරල තියෙන්නෙ මොනවද කියලා බලනවා. තේරුම් ගන්න උත්සාහ කරනවා. තේරෙන්නැත්නම් තේරෙන-නොතේරෙන තව උන් එක්ක එකතුවෙලා හරි, තේරුමක් හොයාගන්ඩ – තේරුමක් ගොඩනගාගන්ඩ හදනවා.
ඊට අමතරව ‘මොනාද බං උඹ මේ ලංකා චිත්‍රකලා සංස්ථාපිතය ඉස්සරහා කියමින්-අහමින්-ගේම ඉල්ලමින් ඉන්නේ?’ කියලා තේරුමක් බේරුමක් කරගන්ඩ කයියකට සෙට්වෙනවා.
එහෙම කරලා ඌ මේ සංස්ථාපිතයන් ඉදිරියේ අහමින් ඉන්නා ප්‍රශ්න ඒ සංස්ථාපිතයන්ට උත්තර නොදී ගැලවිලා පැනල යන්ඩ බැරි විදියට අහන්ඩ මගේ හඬත් එක්කරනවා.
ඒත් මට මේ එකක්වත් කරන්ඩ එන්ඩ වෙන්නෙ නෑ.
මේක කියවන උන්ට මට කියන්ඩ තියෙන්නෙ මේකයි.
උඹලා පලයල්ලා. ගිහින් ඌ මොනවද කරල තියෙන්නෙ කියලා බලපල්ලා. බලල තේරුම් ගන්ඩ උත්සාහ කරපල්ලා. ඊළඟට ඌ කියමින් ඉන්නේ, අහමින් ඉන්නේ මොනවද කියලා අහපල්ලා. ප්‍රශ්න කරපල්ලා. සංවාද කරපල්ලා. එහෙම කරලා ඌ අහමින් ඉන්න ඇත්ත ප්‍රශ්නවලට උඹලාගේ හඬත් එකතුකරපල්ලා!
මේක අනන්‍යතාවලින පිස්සු වැටුණු ලෝකයක්. අනන්‍යතා මේන්ටේන් කිරීමෙන් තොරව අතිශය පෞද්ගලික කටයුත්තක් වෙච්ච වැසිකිලි යාමවත් කරගන්ඩ බැරි ලෝකයක්.
ඒත් ‘ජනඅරගල’ කියන්නෙ ජන ගංගාවකට ලුණු දැම්ම වගේ දියවෙලා නැත්තට නැතිවෙලා යන එකට. එහෙම දියවෙලා-නැතිවෙලා-නොපෙනී ගිහින් ජන ගංගාවට ලුණුරස එකතුකරන එකට.
අනන්‍යතා හිඟන්නන්ට බැරිත් ගංගාවක වතුර මැද ලුණු වගේ දියවෙලා නැත්තට නැතිවෙලා යන්ඩ.
ඒ නිසා උන්ට කවදාවත් ‘ලුණු රහ’ වතුරෙ ඉතුරුකරන්ඩ බෑ.
මේ සේයාරුව මගේ ‘පියෙරෝ සහ පාද්රේ’ කෙටිකතා පොතට සුජිත් 2018 කරපු නිර්මාණය. ඒක මගේ ‘පියෙරෝ සහ පාද්රේ’ කෙටිකතාව කියවලා සුජිත් කරපු නිදහස් නිර්මාණයක්.
ඇත්තම කතාව තමයි, ඩිජිටල් පිටපතක් ඇරෙන්න සුජිත්ගේ සිත්තම සහිත මේ පොත අද වෙනතුරු මට අතට අරන් බලන්න ලැබිලා නෑ.