Latestදේශීය

ජනතාවට අවශ්‍ය ජයග්‍රහණය කියන්නේ මාලිමාවේ බලය පිහිටුවීමයි – නලින්ද ජයතිස්ස

මාලිමාව බලය ලබා ගැනීම රටටත් ජනතාවටත් අවශ්‍ය ජයග්‍රහණයක් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (11) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහද එක් වී සිටි අතර එහිදී ඔවුන් දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් පල වේ.

“මැතිවරණය කල් දැමිමට විවිධ පාර්ශ්වයන් ගන්නා උත්සාහය ජාතික ජන බලවේගය වෙත සමහර කණ්ඩායම් එල්ල කරන මඩ අවලාද පිළිබඳව අපේ පාර්ශ්වයෙන් ස්ථාවරය ප්‍රකාශයට පත්කිරීමට අවශ්‍යයි. පළාත් පාලන මැතිවරණය සඳහා මැතිවරණ කොමිසම දින නියම කර තිබුණත් ජනතාවට මේ පිළිබඳව තිබෙන්නේ අවිනිශ්චිතතාවයක්. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබියෙදී ජනතාවට අවිනිශ්චිතතාවයකට පත්වෙනවා නම් රටේ අනාගතය සම්බන්ධයෙන් එය සුබවාදී ලකුණක් වන්නේ නැහැ. මැතිවණය ජනතාවගේ පරමාධිපත්‍යය ප්‍රකාශයට පත්වෙන අවස්ථාවක්. ඡන්දය සඳහා ජනතාව සූදානම් වුණා. නමත් මෙවර නිතරම දෙගිඩියාවෙන් ඉන්නවා. මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යවරයාට ලිපියක් යොමුකර තිබෙනවා, අදාළ මුදල් ලබාදෙන ලෙසට. ඒ ලිපිය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මුදල් ඇමතිවරයාට යොමු කර තිබෙනවා. මුදල් ඇමති ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිවරයායි. මේ මැතිවරණය නොපවැත්වීමට වැඩි වශයෙන්ම කටයුතු කරමින් ඉන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව රටේ ජනතාව පමණක් නොවෙයි ලෝකයේම ජනතාවත් දන්න කරුණක්. ඔහු නායකත්වය දෙන කැබිනට් මණ්ඩලයේදි තීන්දුවක් ගත්තා ඇප මුදල් භාර ගැනීම නවතාලන්න. ඒ ක්‍රියාවලිය සිදුකළේ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීන්දුවක් මත බවට දැන් හෙළිදරව් වී තිබෙනවා. එසේ ගනු ලැබූ තීන්දුව කැබිනට් ලේකම්ට දැනුම් දීමත් ඔහු විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්ට දැනුම්දීමත් ඔහු විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දීමත් සිදුවී තිබුණා. එම තීන්දුව ගැනීමේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහයි.

තවත් අවස්ථාවකදී ජනාධිපති ලේකම් කාර්යාලයට මැතිවරණ කොමසාරිස්වරයා කැඳවා සාකච්ඡාවක් කර, ඔවුන් එම ස්ථානයෙන් පිටත්ව යාමටත් පෙර මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර එකඟතාවයක් නැති බවත්, ඒ නිසා මැතිවරණය පැවැත්විය නොහැකි බවත් ප්‍රකාශ කරමින් ඔවුන් නිවේදනයක් නිකුත් කළා. ඒ වගේම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ, විහිළු සහගත ලෙස ප්‍රකාශ කළා, කල්දාන්න මැතිවරණයක් නැති බව. මෙවන් තත්වයක් තිබියෙදීයි, මැතිවරණ කොමසාරිස් විසින් යවන ලද ලිපිය මුදල් අමාත්‍යාංශ ලේකම් විසින් ජනාධිපතිවරයාට යොමු කරන්නේ. මෙය හොරාගෙන්ම පේන අහනවා වගේ සිද්ධියක්.

ආණ්ඩු පක්ෂයේ අයත්, විපක්ෂයේ සමහරුත් මේ මැතිවරණය කල්දැමීමට මෙතරම් උනන්දුවක් දක්වන්නේ ඇයි? මෙවන් තත්වයක් අපේ ඉතිහාසයේ තිබුණේ නැහැ. කොවිඩ් වසංගතය වැනි ඉතා අපහසුතාවයන් පැවති වකවානුවලත් ඡන්ද කළා. ඒ කිසිදු අවස්ථාවක පොලිස් ආරක්ෂා ප්‍රශ්න, තෙල් ප්‍රශ්න, විදුලි ප්‍රශ්න කිසිවක් තිබුණේ නැහැ. මේ පළාත් පාලන මැතිවරණය වළක්වාලන්න මෙතරම් උත්සාහ ගනිමින් ඉන්නේ මේ ඡන්දයේ ප්‍රතිඵලය ඒ අයට සුබදායී නොවන නිසා. මේ උදාවෙලා තිබෙන්නේ, පාලක ප්‍රභූ කණ්ඩායමෙන් සාමාන්‍ය ජනතාව අතට බලය හුවමාරුවෙන ප්‍රථම අවස්ථාව. මේ මැතිවරණයෙන් පටන් ගන්නා බල හුවමාරුව ජාතික මැතිවරණ දක්වා යන බව ඔවුන් දන්නවා. මේ නිසා මෙය වලක්වාලීමට කළ හැකි සියලුම දේ කරමින් ඉන්නවා.

දැන් නවතම ක්‍රියාමාර්ගය ලෙස ජාතික ජන බලවේගයට මඩ අවලාද එල්ලකරමින්, විකෘති සහගත ප්‍රකාශ, අර්ධ සත්‍ය පදනම් කරගෙන ඒ ප්‍රවෘත්ති විකෘති කරමින් මේ ජනතා ජයග්‍රහණය වළක්වන්න ඔවුන් සැලසුම් සහගත ලෙස උත්සාහ කරමින් ඉන්නවා.

එක් පුවත්පතක ප්‍රවෘත්තියක “මාලිමාව පුංචි ඡන්දෙට බිලියන 3ක් වැය කරලා” යැයි චාමර සම්පත් ප්‍රකාශ කර තිබෙනවා. මේ අවලාද සහගත ප්‍රවෘත්තිය ජාතික ජන බලවේගයේ අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මෙය පැහැදිලිවම අසත්‍යයක්. මේ බිලියන 03 ගණනය කර නිවැරදිව ලියා දක්වන්න කියා අපි ඔහුගෙන් ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේ මැතිවරණ කොමසම විසින් එක් අපේක්ෂකයෙක් වියදම් කළ යුතු වියදම් සීමාව ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව මැතිවරණ නීතිය ක්‍රියාත්මක කර, මන්ත්‍රී ධුර අහෝසි කරන්නව හැකියාව තිබෙනවා. ඒ කිසිදු ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවී ජාතික ජන බලවේගයට එරෙහි මඩ ප්‍රවෘත්ති සපයමින් ඉන්නවා. ජන මතය විකෘති කරමින්, බඩු බෙදමින්, මුදල් බෙදමින් තමයි, ජනතාව රවටමින් මේ අය මෙතෙක් මැතිවරණ ජයග්‍රහණය කළේ. අපේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ අනිවාර්යයෙන්ම මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදීව, ඕනෑම අපේක්ෂකයෙකුට තමන් ජනතාවට කරන සේවය ඉදිරිපත් කරමින් ජනතාවගේ කැමැත්ත ලබාගෙන බලයට එන්න අවශ්‍ය නීති, දේශපාලන සංස්කෘතිය අපි හදනවා. මේ පාලකයෝ දන්නවා, එයාලගේ පැවැත්ම අහෝසි වෙන බව. ඒ නිසා තමයි මේ පදනමක් නැති අවලාද නගමින් ඉන්නේ.

තවත් පුවත්වතක පළකර තිබුණා ජ.වි.පෙ. හිටපු මන්ත්‍රීවරු වසර 13ක් තුළ කෝටි 24ක ෆැන්ෂන් ලබාගත් බව. මේ වන විට පාර්ලිමේන්තු මහ ලේකම් විසින් මේ වන විට විශ්‍රාම වැටුප් හිමි මන්ත්‍රීවරුන්ගේ ලේඛනයක් ඉදිරිපත් කර තිබෙනවා. එහි විවිධ පක්ෂ නියෝජනය කරන 266කගේ නම් සඳහන් වි තිබෙනවා. ඒ 266 දෙනා අතරින් ජාතික ජන බලවේගය නියෝජනය කරන එකොළොස් දෙනෙකුගේ විශ්‍රාම වැටුප් අපේ පොදු අරමුදලට බැර වෙනවා. මීට වසර දෙකකට කලින් අයවැයකදී මේ ආණ්ඩුව නියෝජනය කරන මුදල් අමාත්‍යවරයා, පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා, මන්ත්‍රී විශ්‍රාම වැටුප වසර පහකින් නොවෙයි දහයකින් දෙන බවට. ඒ අයවැය යොජනාව නීතියක් බවට පත් වුණාද? විශාල ආන්දෝලනයක් ගෙන ආ එම යෝජනාවට සිදුවුයේ මොකක්ද? ජාතික ජන බලවේගය පැහැදිලිව ජනතාවට පොරොන්දුවක් දී තිබෙනවා, අපේ ආණ්ඩුවක් යටතේ මේ සියලු දේශපාලනඥයන්ගේ විශ්‍රාම වැටුප මුළුමනින්ම අහෝසි කරන බවට. මේ වාර්තා ඉදිරිපත් කරන අය දන්නවා, අපි ඒවා ක්‍රියාවට නඟන බව. ඒ නිසා ඔවුන් බියවී සිටිනවා. මේ නිසා බොරු හදමින් ජනතා මතය විකෘති කිරීමේ උත්සාහයක නිරත වෙමින් ඉන්නවා.

ඊයේ ඇමතිවරයෙක් පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරමින් තවත් අවලාදයක් ගොඩනැගීමට උත්සාහයක යෙදුණා. එක් එක් පෞද්ගලික ආයතනවලට බලපෑම් කර, කප්පම් ගැනීම පිළිබඳ චෝදනාවක්. ඔහුගෙන් අපි ඉල්ලා සිටිනවා, පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ ඒ චෝදනාව ඉදිරිපත් කරන්න කියා. ඒ අයතනවල නම්, කවුද ගත්තේ? කොහොමද ගත්තේ යන විස්තර ඉදිරිපත් කරන්න. මේ ඉදිරිපත් කරන්නේ ඒ ඇමතිවරයාට නායකත්වය දෙන, මේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයා කප්පම්කාරයෙක් කියන එක අධිකරණයෙන් ඔප්පුවී තිබෙනවා. කොළඹ මහාධිකරණය ජුලි 08 වැනිදා තීන්දුවක් ලබාදුන්නා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, කෝටි 2 1/2ක කප්පමක් අරගෙන හයකෝටි හතළිස්ලක්ෂයක් වෙන කප්පමේ ඉතිරි ටික අරගන්න ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර ඇති බව. එම නඩුවේ තීන්දුව දුන්නේ කෝටි දෙකහමාරේ දඩයක් හා අවුරුදු දෙකක බරපතළ වැඩ ඇතිව සිරිදඬුවම් ලබාදීමට. ඒ තීන්දුව ප්‍රකාශයට පත්කරන දවසේ ප්‍රසන්න රණතුංග වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ “මගේ සේවාදායකයා වන අමාත්‍යවරයා පිළිබඳව සානුකම්පිතව සලකා බලා දෙන දඬුවම ලිහිල් කරදෙන්න” කියලා. ප්‍රසන්න රණතුංග රෝගියෙක්, විවාහ වන වයසේ සිටින දියණිය මානසික පීඩාවක සිටින බවත්, ඔහු අමාත්‍යවරයෙක් නිසා රටට ආයෝජකයෝ නොඑන බවත්, මේ නිසා දඬුවම ලිහිල් කරදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන කප්පම්කරුවෙක් නායකයා ලෙස තබාගෙන, කටයුතු කරන අමාත්‍යවරයෙක් පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කර, පදනම් විරහිතව ජාතික ජන බලවේගයේ අපේ අයට චෝදනා එල්ලකරමින් ඉන්නවා. හැකියාව ඇත්නම් මෙය ඔප්පු කරන ලෙසට අපි ඉල්ලා සිටිනවා. මේ කලබලය ඇයි? මැතිවරණය පැවැත්වූ වහාම ජනතාව ජාතික ජන බලවේගය බලයට පත්කරනවා. ඒ බලය උපයෝගි කරගෙන අපේ ආණ්ඩුවක් යටතේ මේ කප්පම් ගන්න, දූෂිත, නාස්තිකාර දේශපාලනය අවසන් කරන බව ඒ නාස්තිකාර දේශපාලනයේ යෙදන අය ඉතා හොඳින් දන්නවා.

මේ රටේ මාධ්‍යවලින් අපි ඉල්ලා සිටිනවා, මේ ජනතා ජයග්‍රහණයක් වළක්වන්නට මේ කණ්ඩායම් දරන කූට උත්සාහය වළක්වන්න ඔබගේ මාධ්‍ය භාවිතා කරන්න. මේ ජයග්‍රහණය රටට, ජනතාවට අවශ්‍ය ජයග්‍රහණයක්.”

මඩ අවලාදවලින් මාලිමාවේ ගමන නවත්වන්න බැහැ
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ

“මේ පළාත් පාලන මැතිවරණය එන තෙක් රටේ ජනතාව බලාගෙන ඉන්නවා. මේ රටේ බලය මාලිමාවට දෙන්න මුල් අඩිතාලම දාන්න මේ ජනතාව සූදානම්. රනිල් හා රාජපක්ෂලා, ගෝලයෝ එකතුවෙලා ඒ ජයග්‍රහණය කිලිටි කරන්න, මඩ තවරන්න ඉතා බොළඳ උත්සාහයක් ගනිමින් ඉන්නවා. ඊයේ පාර්ලිමේන්තුවේදී මනුෂ නානායක්කාර ප්‍රකාශ කරනවා, ඊට කලින් දිනයේ කාංචන විජේසේකර පවසනවා වෘත්තීය සමිති නායකයෝ හැටියට ආයතනවලින් කප්පම් ගන්න බවට චෝදනාවක්. අපි කියනවා එයාලට ආණ්ඩුව, පොලිසිය, නීතිය තිබෙන්නේ ඔයාලගේ අතේ. තැන් තැන්වල ප්‍රකාශ කරන්නේ නැතිව, නීතිය ක්‍රියාත්මක කරලා, චෝදනා ඔප්පු කරලා දඬුවම් දෙන්න. ඔයාලා මතක තබාගන්න, ආණ්ඩුව කරන්නේ අපි නම්, මේ වෙනකොට ඔයාලා ඇතුලේ. තැන තැන කියව කියවා යන්නේ නැහැ. ඔයාලා මේ බයවෙලා තිබෙන්නේ ඇතුළට යන එකට තමයි.

මේ රටේ මහජනතාව පීඩාවට පත්වෙලා තිබියදී, වරාය දාපු තෙල් නැව නවත්වාගෙන, ඒ තෙල් නැවට ස්පොට් ටෙන්ඩරයේ දාන්න බැරල් එකට කොමිස් එක ඩොල්ර 05ක් තිබුණු එක ඩොලර් 24 – 30 දක්වා ගිහින්. එවා බෙදා ගත්ත හැටි අපි ඉදිරියට කියන්නම්. කාංචන විජේසේකරට අපි කියනවා, තොරතුරු අරගෙන ඇවිත් ඔප්පු කරන්න කියා. ඊයේ මනුෂ කියනවා, “අපි කියන්නම්ලු ගන්න හැටි” අපිත් කියන්නම් ඔයාලා ගන්න හැටි. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා, පාර්ලිමේන්තුවේ කරන කථා මේ වගේ එළියට ඇවිත් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා කියන්න කියා අපි කියා සිටිනවා. ඒකට ඔයාලට කොන්ද පණ නැහැ. කොන්ද තියෙනවා නම්, එළියට බැහැලා කියන්න. එයාලා දන්නවා පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශවලට අධිකරණ ක්‍රියාමාර්ග ගන්න නොහැකි බව. මේ අපි එළියේ කරන ප්‍රකාශවලට පුළුවන්නම් අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්න. ගන්න බැරි, ඔයාලා මේවට චූදිතයෝ, දූෂිතයෝ, බව මුළු රටම දන්නවා. ගල් අඟුරු ටෙන්ඩරයෙන් ගහන්න හැදුවේ කොහොමද කියල දන්නවා. තෙල් නැව් ගෙනැත්, ඒවා නවත්වාගෙන ඒවාගෙන් ගහන්නේ කොහොමද කියා දන්නවා. අනෙක් පැත්තෙන් ගෑස් මිලදී ගන්න ගොස් නැව්වලින් ගහපු හැටි දන්නවා. ඒ විතරක් නොවෙයි පක්ෂ මාරුකරන්නත් සල්ලි ගත්ත හැටි අපි දන්නවා. කාංචන විජේසේකරට කියනවා, දෙවුන්දර දේවාලේ නිලමේ කාලයේ නිලමේකම පාවිච්චි කරලා පොළ කරන්න ගිහින් නඩු වැටුණා. ඒක ෂේප් කරගත්තා. එතැන් සිට ඔයාත් ඔයාගේ තාත්තාත් කළ දේවල් අපි කියන්නම්.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රට යන එකට අදාළව සීමාවක් පැනවී තිබෙනවා. ඇයි? ඩොලර් 141ක ඉන්ෂුවරන්ස් එකක් ගන්නවා. මේ රටේ අයෙක් විදෙස් රටක සේවයට හෝ සංචාරයට යනවා නම්, මේ රටේදී හෝ විදෙස් රටේදී හෝ ට්‍රැවල් ඉන්ෂුවරන්ස් එකක් දාලා යන්න පුළුවන්. ඉන්ෂුවරන්ස් එක දාගෙන යනකොට ඒක රී ඉන්ෂුවරන්ස් එකක් කරන්න ඕනෙ. ලංකාවේ නම් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලෝකයේ පිළිගත් සමාගමක් රී ඉන්ෂුවරන්ස් කරනවා නම් ඒ සමාගමෙන් තමයි ඉන්ෂුවරන්ස් එක ලබාගෙන තිබෙන්නේ. ඊයේ පෙරේදා ශ්‍රී ලංකා විදෙස් නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයා ලිපියක් ගහනවා සියලු විදෙස් සේවා නියුක්ති කාර්යාලවලට මේ ඩොලර් 141ක ඉන්ෂුවරන්ස් එක පිළිබඳ ප්‍රශ්නය ඇද්ද නිසා කුවේට් රටේ තිබෙන මේ සංවිධානයෙන් ඒ සමග ගනුදෙනු කරන අය ඒ සංවිධානයෙන් අයින් වුණේ නැතිනම් ඒ අයට විදෙස්ගත වෙන්න අවශ්‍ය පහසුකම් සපයන්නේ නැති බවටත් අනුමැතිය නොදෙන බවටත්. මේ තමන් කළ වංචාව අහුවුණාම නිලධාරීන් පාවිච්චි කරලා වංචාව වහගන්න, වංචාව හෙළිකළ මිනිසුන්ව හිරේ යවන්න හදනවා. බැරියර් දානවා. 2022 තුන්ලක්ෂ විසිදහසක් පිටරට ගියා. පසුගිය ජනවාරි 15දා සිට රට යන එක නවත්වලා තිබෙන්නේ ඇයි? මේ ඩොලර් 141 ඉන්ෂුවරන්ස් එකට ඇත්තට යන්නේ ඩොලර් 51ක්. ඩොලර් 100ක් 90කට ආසන්න මුදලක් මේ අය සාක්කුවේ දාගන්නවා.

ඕමාන් රටේ ඉන්ෂුවරන්ස් කොම්පැනියක් තිබෙනවා. ඩොලර් ටික ඒකට පෞද්ගලිකව යවන්න ඕනෙ. මේවා මනුෂලා කරන ජාවාරම්. රටේ මිනිස්සු රවට්ටලා ගන්න ඒවා. මේවාට දාන්න නඩු. රට යන්න කලින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගාස්තුව රුපියල් 17,922යි. ඒ රටේ වීසාවලට අදාළ ගිවිසුම්වලට ගන්නවා රුපියල් 25,613යි. විදෙස් සේවා සෙස් බද්ද ලෙස රුපියල් හතළිස් හත්දහස් හතළිස් නවයක බදු මුදලක් ගන්නවා. සෙස් බදු ගහන්නේ මොකටද? අදාළ කර්මාන්තයට උදව්වක් කරන්න. රට යන මිනිසුන්ගෙන් යැපෙන ඇමතිවරුන්ට මේ බද්ද ගන්නවා. මේ තරම් බදු මුදල් අරගෙනත් ඉන්ෂුවරන්ස් එකෙන් කොල්ලකනවා.

මේ අවලාද, බොරු, ප්‍රචාරය කරන්නේ වෙන කිසිවක් නිසා නොවෙයි, ජාතික ජන බලවේගයේ ආණ්ඩුක් හැදුවාට පස්සේ මේ ගොඩක් අයට ඉන්න වෙන්නේ හිරගෙවල්වල කියා එයාලා දන්නවා. මහජන දේපොළ කොල්ලකාපු, ඩීල් දාලා, ගේම් ගහලා, රටේ ජනතාවට බර පටවපු මේ බොහෝ අය අද පාර්ලිමේන්තුව පාවිච්චි කරනවා මාලිමාවට මඩ ගහන්න. අපි ජාතික ජන බලවේගය හැටියට අභියෝග කරනවා හැකියාවක් ඇත්නම් ඔයාලගේ ටීවී නාලිකා අරගෙනවිත් මේ ගහන මඩ ඔප්පු කරන්න. පගා රැගෙන තිබෙනවාද? ගත්ත සමාගම් මොනවාද? ඒ සමාගම්වල මිනිසුන්ගෙන් අහලා බලන්න. කොම්පැනිවලින් අහලා බලන්න. ලංකාවේ ලොකුම වෘත්තීය සමිතිය අපේ. ඔයාලට වෘත්තීය සමිති තිබෙනවාද? ඩීල් දාන නිසා, අයිතිවාසිකම් දිනා නොදෙන නිසා, සේවකයෝ ඔයාලාව අතහැර ගොස් තිබෙන්නේ. අන්තර් සමාගම් සේවක සංගමය තමයි ලංකාවේ තිබෙන පෞද්ගලික අංශයේ විශාලම වෘත්තීය සංගමය. ලංකාවේ වැඩිම පඩි ගන්න, වැඩිම බෝනස් ගන්න, වැඩිම ලාභ ලබන, කොම්පැනි තිබෙන්නේ අන්තර් සමාගම් සේවක සංගමයට. දැනුත් වෘත්තීය සමිති හදන සංගමයක් මේ සංගමය. ඔය මඩවලින්, අවලාදවලින් මේක නවත්වන්න බැහැ. සේවකයන්ට අයිතිවාසිකම් අරගෙන දෙනවා වගේම ආයතනත් සුරක්ෂිත කරගෙන, මෙ රට ඉදිරියට යන්නේ කොහොමද කියා දකින, වැඩකරන පංතියයි, ඒවායේ හාම්පුතුයි ඔක්කෝම එකට එකතුවෙලා මෙවර මාලිමාව දිනවනවා.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?