Latestදේශීයමතවාදවිදේශීය

රනජිත් ගුහා කියවමු

මහාචාර්ය රනජිත් ගුහා #ranajithguha මරණයට පත් වු බව වෙබ් අවකාශයේ සටහන් කර තිබුණා. අපේ ජීවිත කාලයේ දාර්ශනික සහ සමාජ් චින්තන පදනමක් නිර්මාණය කළ අයෙක් ලෙසින් ඔහුට විශේෂ පිළිගැනීමක් තිබෙනවා. ඉතිහාසය, (History) ඉතිහාසකරණය (Historiography), සමාජ න්‍යාය (Social theory) සහ නිර්ප්‍රභූ අධ්‍යයන (Subaltern Studies) යන ක්ෂේත්‍රවල ප්‍රාමානික හා පළමුගනයේ විද්වතෙකු ලෙසින් එතුමන්ව පිළිගැනෙනවා.

ඔහු විසින් ලියු ශාස්ත්‍රීය රචනා අතරින් විශේෂ තැනක් ගන්නා කෘතිය වන්නේ Elementary Aspects of Peasant Insurgency in Colonial India (1983) යි. ඊට අමතරව ඔහුගේ “Dominance without Hegemony” (1997) ලේඛණය ද ශාස්ත්‍රීය ලෝකයේ අතිශයෙන් සම්භාවනාවට පත්වූවක්.

ඉතිහාසය ශාස්ත්‍රීය කතිකාවේ නව සමාජ සිතීමක් ඔහුගේ ඉදිරිපත් කිරීම සමගින් මතු වූ බව මේ අධ්‍යයන කළාපයේ වැඩ කරන අය දන්නවා. නූතන ඉන්දීය ඉතිහාසය (Modern Indian History) සම්බන්ධයෙන් ඉන්දියාවේ මූළික වශයෙන් අධ්‍යයන සම්ප්‍රධායයන් දෙකක් නිදහසින් පසු කාලය තුළ තිබුණ බව පැහැදිළියි. එයින් එකක් වූයේ වික්ටෝරියානු ශාස්ත්‍රීය සම්භවයක් තිබෙන, අනුභූතිකවාදී (empiricist) පදනමක් සහිත කේම්බ්‍රිජ් ඉතිහාසකරණ සම්ප්‍රදායයි. මේ සම්ප්‍රදාය දාර්ශනික වශයෙන් යථානුභූතවාදය (positivism) මත පදනම්වු අතර ආර්ථික පදනමක් වශයෙන් ඇඩ්ම් ස්මිත්ගේ ආස්ථානයේ පිහිටි සහ විද්‍යාතමක වාස්තවිකත්වය සමග ගැට ගැසුනු සිතිමේ ක්‍රමයක්. මේ වික්ටෝරියානු ඉතිහාස සම්ප්‍රධායට වෙනස්ව මතු වු අනෙක් කියවීම වූයේ ඉන්දීය ඉතිහාසය පීළිබද මාක්ස්වාදී ආස්ථානය මත පිහිටි ශාස්ත්‍රීය භාවිතාවයයි. රනජිත් ගුහා ඇතුළු Subaltern Studies කණ්ඩායම මතු කළ ප්‍රධාන තර්කයක් වූයේ ආසියානු සමාජයේ (විශේෂයෙන්) ඉන්දීය යටත් විජිත අවකාශයේ සැබෑ ඉතිහාසය ඉහත සදහන් මානයන් දෙකෙන්ම (වික්ටෝරියානු සහ මාක්ස්වාදී) ආමන්ත්‍රණය නොවන බවයි.

ගුහා ගේ ශාස්ත්‍රීය එකතුකිරීම් පීළිබද Dipesh Chakrabarty ලියු ලිපියක මේ තත්වය සාරංශගත කර තිබුනේ මෙසේයි ” From the point of view of a younger generation of historians, whom Ranajith Guha, following Salman Rushdie, has called Midnight’s Children, neither the Cambridge thesis propounding a skeptical view of Indian nationalism nor the nationalist – Marxist thesis glossing over real conflict of ideas and interest between the elite nationalist and their socially subordinate followers was an adequate response to the problem of postcolonial history writing in India” (“A Small History of Subaltern Studies” in Habitations of Modernity (2002) by Dipesh Chakrabarty, P6).

යටත්විජිතකරණය් පිළිබද රනජිත් ගුහා ගේ විවේචනය බරපතළ දාර්ශනික පදනමක් නිර්මාණය කරණ සුලු ආස්ථානයක් පමණක් නොව නව විචාරාත්මක අක්ෂියක් හදුන්වා දෙන්නක්ද විය. ඔහුගේ Elementary Aspects of Peasant Insurgency in Colonial India කෘතිය මගින් මතු කළ තර්කයක් වූයේ සමහර බටහිර් චින්තකයින් විසින් පෙරදිග ඉතිහාසකරණය සම්බන්ධයෙන් ගෙනෙනෙන ලද Epistemological Boundaries හෙවත් බෙදුම් රේඛාවන් හරහා ඉන්දීය සමාජයේ ඉතිහාසය තේරුම් ගත නොහැකි බවයි. මෙහිදී විශේෂයෙන් ඔහු අවධානයට ලක් කරන්නේ Eric Hobsbawm විසින් මතු කළ Pre-Political වැනි සංකල්පයන් පිළිබදවයි. බ්‍රිතාන්‍යයේ සිටි ඉතිහාසය හා මක්ස්වාදය පිළිබද චින්තකයෙක් වු හොබස්බෝම් තර්ක කළේ ඉන්දියාව වැනි ‘පසුගාමි’ සමාජ සිතීමක් ඇති රටවල යටත්විජිතකර්ණයෙන් ‘නිශචිත හා සංවරධිත’ තත්වයට පත් නොවු කාලවල සිදුවූ සමාජ නැගිටීම් වැනි දේවල් ඉතිහාසකරණමය ආකෘතීන් තුළ තබා විමසිය නොහැකි ඒවා බවයි. ඔහුට (හොබ්ස්බෝම් ට) අනුව එවැනි සමාජ ගත කරමින් සිටින්නේ ‘පූර්ව දේශපාලනික’ (Pre-political) අවකාශයක් බවයි. රනජිත් ගුහා ඔහුගේ නිර්පර්භූ තිසිසිය සදහා එක් departure point එකක් ලෙසින් මතු කරන්නේ මෙම බටහිර සමාජ චිනතනයේ ඇති මෙම බෙදුම්කඩනයයි.

මාක්ස්ගේ චින්තනයේ සමහර පදනම් විවේචනාත්මකව හදාරමින් සහ සමහර ග්‍රාම්ස්චියානු අර්ථකථන මත පදනම්ව ගුහා ඉදිරිපත් කරන නිරීක්ෂණයක් වන්නේ නූතන යටත්විජිතවාදය යනු ගෝලීය ප්‍රාග්ධනය බටහිර නොවු රටවල් මත (එම රටවල බලය සහ ආධිපත්‍ය -power and authority- ට අයත් සමාජ සම්බන්ධතාවන් කිසිදු ප්‍රජාතන්ත්‍රීය පරිවර්තනයක් නොකරමින්) ආධිපත්‍ය පැතරීමක් බවයි.

ලාංකීය සමාජයේ යටත් විජිත අධ්‍යයන් පිළිබදව මේ සාකච්ජාව ඉතාමත් අදාළ එකක් බව බොහෝ වියතුන් විසින් සනාථ කර ඇත. ඒ සම්බන්ධයෙන් මා කියවු ඉතාමත් වැදගත් කෘතියක් වන්නේ මෑතකදී මහාචාර්ය පී වී ජේ ජයසේකර විසින් රචිත Confrontations with Colonialism (Resistance, Revivalism and Reform under British Rule in Sri Lanka) කෘතියයි.

වසර 100 පමණ දීරඝ සහ ශාස්ත්‍රීය වශයෙන් ඉතාමත් බලපැම් සහගත ජීවිතයක් ගත කළ රනජිත් ගුහා 2023 අප්‍රේල් 28 දින අභාවයට පත් විය. ඔහුගේ ශාස්ත්‍රීය එකතුකිරීම් අපේ චින්තන ලෝකවලට තවත් දීර්ඝ කාලයක් ශක්තියක් සපයනු ඇත.

(චරිත හේරත්)


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *