විමල්ට වරෙන්තු
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඒ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) වරෙන්තු නිකුත් කළේය.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකළේ යැයි ඔහු චෝදනා ලබා සිටී.
මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී නඩුවේ පළමුවන විත්තිකරු වශයෙන් නම් කර සිටින විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත.
මෙම නඩුවේ තවත් විත්තිකරුවකු වන වීරකුමාර දිසානායක මහතා ද අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥවරයා විසින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත් වරුන් වන මොහොමඩ් මුසම්මිල්, ජයන්ත සමරවීර, රොජර් සෙනෙවිරත්න, පියසිරි විජේනායක යන විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියේය.
මෙහිදී මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ, මෙම නඩුව කැඳවන සෑම දිනයකම එක් එක් විත්තිකරුවන් මාරුවෙන් මාරුවට අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මෙම නඩුව කිසිදිනක විභාගයට ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවය.
විත්තිකරුවන් මේ ආකාරයෙන් අධිකරණයේ පෙනී සිටීම මඟහැරිය හොත් විත්තිකරුවන් සියලුදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර නඩුව ඇසීමට සිදුවන බවත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා අනතුරු අඟවා සිටියේය.
ඉන් අනතුරුව නඩුව සැප්තැම්බර් මස 11 වනදා දක්වා කල්තැබීමට ද නියම කෙරුණි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

