10 දෙනෙක්ගෙන් 6 දෙනක්ම ආර්ථික අවධානම් කලාපයේ
ශ්‍රී ලංකාවේ ජනගහණය වූ මිලියන 22.16 න් මිලියන 12.3 ක පිරිසක් අවදානම් ආර්ථික මට්ටමට ළඟා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2022-23 වර්ෂ සඳහා නිකුත් කරන ලද ජාතික පුරවැසි සමීක්ෂණය නම් වූ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වන බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය විය.
උක්ත වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙක් ම මෙසේ අවදානමට ලක් ව ඇති බවය. එය 55.7% කි. ග්‍රාමීය ප්‍රදේශවල මෙය 82% ක් තරම් ඉහළ තත්ත්වයකි. පුත්තලම දිස්ත්‍රික්කය අවදානම වැඩිම ප්‍රදේශය වන අතර එහි ප්‍රතිශතය 71.8% කි. අවමය වූ 41.5% වාර්තා වන්නේ මාතලේ දිස්ත්‍රික්කයෙනි.
මේ පිළිබඳ සාකච්ඡා වූයේ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වූ අවස්ථාවේදීය. රජයේ සමාජ සුබසාධන වැඩපිළිවෙල, සමාජ ආරක්ෂණ ජාලය සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, සමාජ සේවා දෙපාර්තමේන්තුව, සමාජ ආරක්ෂණ මණ්ඩලය, සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.
අදාළ වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය වර්ධනය වීමේ දී 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, 2020 කොවිඩ් 19 වසංගතය, 2022 අප්‍රේල් මාසයේ ඇති වූ ආර්ථික අර්බුදය, අයවැය හිඟය, ගෙවුම් ශේෂ අර්බුදය, ණය බැඳියාව සමගම 2022 දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සෘණ 7.8 දක්වා ගමන් කොට තිබේ.
මෙහිදී කමිටු සභාපතිවරයා සඳහන් කළේ අදාළ වාර්තාව ප්‍රකාරව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අංශ තුනක් යටතේ මෙම අවදානම් තත්ත්වය පෙන්වා දී ඇති බව ය. ඒ අනුව; අධ්‍යාපනය, සෞඛ්‍ය හා ස්වභාවික විපත්, ජීවන මට්ටම් එම අංශ තුනයි. දැනට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකු අවදානම් කලාපයෙ සිටින බවත්, අවුරුද්දක් ගතවද්දී මේ තත්ත්වය පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකු දක්වා වර්ධනය විය හැකි බවත්, සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එබැවින් අවදානම් අඩියේ සිටින ජනතාව උදෙසා විධිමත්, ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් සකස් කිරීමේ අවශ්‍යතාව රණවක මහතා විසින් අවධාරණය කරන ලදී. සිසුන්ගේ පාසල් පැමිණීම, සෞඛ්‍යය, ජලය, ආහාර. විපත්වලට මුහුණ දීමේ හැකියාව, අනුගත වීමේ හැකියාව, ජීවන තත්ත්වය, දේපළ, විරැකියාව, සරිලන රැකියාවක් නොමැති වීම, ණයගැති බව ඇතුළු කරුණු 12 ක් මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් සළකා බලා තිබේ.
මෙහිදී සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් ‘අස්වැසුම’ ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් සිදු කරන ලද සමීක්ෂණයේ ප්‍රගතිය සම්බන්ධයෙන් කමිටු සභාපතිවරයා විසින් අදාළ නිලධාරීන්ගෙන් විමසන ලදී. 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත ප්‍රකාරව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් මෙම සමීක්ෂණය සිදු කරන ලද අතර, මේ සඳහා අයදුම්පත් පවුල් මිලියන 3.7 ක් ලැබී තිබෙන අතර, දත්ත ලබා ගැනීම පවුල් මිලියන 3.5 කගෙන් සිදු කර ඇති බව මණ්ඩලයේ නිලධාරීන් ප්‍රකාශ කළේය. ඉන් පවුල් මිලියන 1.79 ක් අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස තෝරා ගෙන තිබේ. මේ සඳහා අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථික මට්ටම ඇතුළු නිර්ණායක 20 කට වඩා සළකා බලා තිබේ.
මෙහිදී මේ ආකාරයෙන් නිර්ණායකයන් විශාල ප්‍රමාණයක් ලබා දීම හේතුවෙන් සමීක්ෂණ කටයුත්ත ආසාර්ථක වී ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. ඊට අමතරව, අස්වැසුම ප්‍රතිලාභීන් තේරීමේ දී වැරදි නිර්ණායක ලබා දීම, සමෘද්ධිලාභීන් ලක්ෂ 4ට අධික ප්‍රමාණයක් අයදුම්පත් භාර දී නොතිබීම, නිසි ලෙස දත්ත සහ තොරතුරු එක් රැස් නොකිරීම, අභියාචනා ක්‍රියාවලියේ පවතින සංකීර්ණ බව, අයදුම් කරන ජංගම දුරකතන යෙදවුමේ පවතින අඩුපාඩු හේතුවෙන් වැරදි තොරතුරු ඇතුළත් වීම, සමහර තොරතුරු ඇතුළත් නොවීම වැනි ගැටළු රැසක් ද මෙහිදී අනාවරණය විය.
කමිටු සභාපති පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ, ප්‍රතිලාභීන් තේරීම සඳහා පැවැති ක්‍රියාවලිය විධිමත් කොට නිසි ආකාරයෙන් සිදු කිරීම සඳහා හඳුන්වා දුන් නව ක්‍රමවේදය පැවැති ක්‍රමයට ද වඩා අසාර්ථක වී ඇති බව ය. ඊට මූලික හේතුව වශයෙන් ඔහු පෙන්වා දුන්නේ; ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් යන ක්ෂේත්‍රයේ අත්දැකීම සහ පළපුරුද්ද සහිත නිලධාරීන් පිරිස මේ සඳහා යොදා නොගෙන නව පිරිසක් යොදා ගැනීම බව ය. අදාළ පළපුරුදු නිලධාරීන්ගේ වෘත්තීය ගැටළු හේතුවෙන් මේ සඳහා එක් නොවී ඇති අතර, එම ගැටළු සළකා බලා අදාළ සමීක්ෂණය සඳහා ඔවුන් එක් කර ගත හැකිව තිබූ බව ද රණවක මහතා පෙන්වා දුන්නේ ය.
අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස තෝරාගත් ලක්ෂ 17 ක පිරිසකගෙන් 2023.07.31 දිනට ලක්ෂ 11 ක පිරිසකට ප්‍රතිලාභ ගෙවීම් සිදු කර ඇති අතර, ඉතිරි ලක්ෂ 5 කට වැඩි පිරිස සඳහා ප්‍රතිලාභ ගෙවීම ප්‍රමාද වීමට හේතු කිහිපයක් බලපා ඇති බව නිලධාරීහූ මෙහිදී ප්‍රකාශ කළහ. බැංකු ගිණුම් විවෘත කිරීම ප්‍රමාද වීම, අභියාචනා සහ විරෝධතා, එකම ජාතික හැඳුනුම්පත් අංකය දෙවරක් හෝ කිහිපවරක් ඇතුලත් වීම, බැංකු ගිණුම් අංක සහ ජා.හැ. අංක නොගැලපීම, එකම ගිණුම් අංකය විවිධ පුද්ගලයන් විසින් ලබා දීම වැනි දෝෂ එම ප්‍රමාදයට හේතු වී තිබෙන බව මෙහිදී ප්‍රකාශ කෙරිණ. ඔක්තෝබර් 31 වෙනිදා වන විට මෙම දෝෂ තත්ත්වයන් විසඳාගෙන ඉතිරි පිරිසට ප්‍රතිලාභ ගෙවීම ඇරඹිය හැකි බව නිලධාරීහු පෙන්වා දුන්හ.
ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේ, රට බංකොලොත් භාවයට පත්ව ජනතාව ආදායම් අහිමි ව සිටින, ලෙඩ දුක්, ආතතිය, දුප්පත්කම ඉහළ ගොස් ඇති වකවානුවක, තම දුවා දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ද දැඩි ගැටළු රැසකට සාමාන්‍ය ජනතාව මුහුණ දී ඇති බව ය. පසුගිය අවු. 3 ක කාල සීමාව ඇතුළත ආදායම නොවෙනස් ව තිබිය දී වියදම තුන් ගුණයකින් වැඩි විය. එවන් අසීරුතාවයකට මුහුණ දී සිටින සමාජයේ අන්ත දුගී බවට පත් ව සිටින මේ සුවිශේෂී පිරිස පරාමිතීන් 20 ගණනක් භාවිතා කොට සොයාගැනීම ප්‍රායෝගික හා මානුෂික නොවන බව රණවක මහතා පෙන්වා දුන්නේ ය. විදුලි බිල වැනි කිසිවෙකුට බොරු කළ නොහැකි සරළ පරාමිතියකට මෙම ක්‍රියාවලිය ලඝු කොට හැකි ඉක්මණින් මෙම ප්‍රතිලාභ අවශ්‍ය ජනතාව වෙත මුදා හැරිය යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය. මහජනයා සමග උරෙනුර ගැටෙන ඒ සමග ගනුදෙනු කළ හැකි ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු පිරිස් මේ සඳහා දායක කරගැනීමේ අවශ්‍යතාව ඔහු නැවත අවධාරණය කරන ලදී.
නොවැම්බර් පළමු සතිය තුළදී අද ඉදිරිපත් කරන ලද වාර්තාවේ යාවත්කාලීන වාර්තාවක් කමිටුව වෙත එවන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් කමිටු සභාපතිවරයා එම වාර්තාව සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානය සඳහා යොමු කරවන බව ද ප්‍රකාශ කළේය.
ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගී ප්‍රජාවගේ සුබසාධන දීමනා ජූලි, අගෝස්තු මාස සඳහා ගෙවා නිම කර ඇති බව ද, සැප්තැම්බර් මස දීමනාව නිදහස් කිරීමට නියමිතව තිබෙන බව ද, මෙහිදී අනාවරණය විය. වැඩිහිටි 72000, ආබාධිත 416667 සහ වකුගඩු රෝගී 39150 ක පිරිසක් සඳහා ප්‍රතිලාභ නිදහස් කර තිබේ. වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාල හරහා ද, අනෙකුත් දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ද යොමු කරන බව නිලධාරීහු ප්‍රකාශ කළහ.
මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, අශෝක් අබේසිංහ, ඉෂාක් රහුමාන්, සංජීව එදිරිමාන්න, වසන්ත යාපා බණ්ඩාර, ආචාර්ය හර්ෂ ද සිල්වා, නිරෝෂන් පෙරේරා, ජේ.සී. අලවතුවල, ගුණපාල රත්නසේකර, හර්ෂණ රාජකරුණා, උදයන කිරිඳිගොඩ, අසංක නවරත්න, ජගත් කුමාර, කේ.පී.එස්. කුමාරසිරි, සහ වෛද්‍ය උපුල් ගලප්පත්ති යන මහත්වරුන් සහභාගී වූහ.
@ Media unit