Latestදේශීයමතවාද

පාඨලී චම්පික ගේ චාන්ස් එක

(විදර්ශන කන්නන්ගර)

‘2022 අරගලය’ ගැන මොකා මොන කතා කීවද ඉන් සිදු වූ භෞතිකම පෙරළිය වන්නේ ලංකාවේ ප්‍රභූ ධනේෂ්වර දේශපාලන පංතිය හා පොදු මහ ජනතාව අතර එතෙක් නඩත්තු කරමින් තිබූ ආධිපත්‍යධාරී සම්මුතිය තීරණාත්මකව බිද වැටීමකට ලක් වීමයි.

(එනම් පාලක පංතිය හා නිර්ප්‍රභූ ජනයා අතර පැවති හෙජමොනික සිමෙන්තිය ගැලවී යාමයි).

දැන් පාලක ප්‍රභූ ධනේෂ්වර දේශපාලන පංතියට සිය ආධිපත්‍යය යළි තහවුරු වන ලෙස නිර්ප්‍රභූ බහුතර ජනතාව සමග යළි සම්මුතියක් අටවා ගැනීම අත්‍යවශ්‍ය කර ඇත. (එනම් නව හෙජමොනික සිමෙන්ති බැම්මක් ගසා ගත යුතුව ඇත).

එය කළ හැක්කේ මේ වනවිට නිර්ප්‍රභූ ජනයාට ඇති අභිලාෂ වලින් කොටසක් සහ ප්‍රභූ ධනේෂ්වර පාලක පංතියේ මූලිකම අභිලාෂයන් අතර ‘දහං ගැටයක්’ ගැසීමෙනි.

පාලක ප්‍රභූ පංතිය පැත්තෙන් ඒ සදහා ඇති සුදුසුම ‘දහං ගැටය’ වන්නේ පාඨලී චම්පික රණවකයි.

පාඨලීලා එක් පැත්තකින් මෑත කාලීනව මතු කළ ප්‍රධානතම දේශපාලන අදහසක් වූයේ නිදහස් අධ්‍යාපනයෙන් ශක්‍යතා වර්ධනය කරගත් කුසලතා පූර්ණ පොදු ජනතාවගේ දරු පරපුරකට රටේ ආණ්ඩුකරණයට ඇතුළත් වීමේ ඉඩ මෙතෙක් පැවති පාලක ප්‍රභූ ස්ථරය විසින් වලකා ඇති බවයි. මෙය වත්මන් ජනතා අරගල පසුබිම තුළ නිර්ප්‍රභූ පොදු ජනයා අතර ප්‍රභූ දේශපාලනය පිළිබදව පැන නැග ඇති විරෝධයට සමපාතය.

පාඨලීලා අනෙක් පැත්තෙන් ප්‍රභූ ධනේෂ්වර පාලක පංතියේ මූලිකම අභිලාෂයක් ද නියෝජනය කරන බව පැහැදිළිය.එනම් ලාංකේය පශ්චාත් යටත් විජිත ප්‍රභූ සංස්ථාපිත රාජ්‍යය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී සිටීමයි. විශේෂයෙන්ම ඔහු ඇතුළු කණ්ඩායම ප්‍රභූ ආකෘතියෙන් සැකසුණු රාජ්‍යයේ ආයතනික ව්‍යුහය,එහි අධිපති දෘෂ්ටිවාදය වන සිංහල බෞද්ධ ජාතිකවාදය හා ජාතික ආරක්ෂණ රාජ්‍යයක පැවැත්ම අවධාරණය කරති. ඒ මත පදනම් වූ නැගෙනහිර ආසියාතික අධිකාරිමය ධනවාදී ආදර්ශනයක් ගැන ඔවුන් ප්‍රකාශ කරන බව පෙනෙයි.

ඒ අනුව සිය බලය ගිලිහී ඇති සම්ප්‍රදායික ප්‍රභූ දේශපාලන පංතියට පොදු ජනයා වෙත සිය බලය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් චම්පික රණවක ගැලපෙන තුරුම්පුවක් වේ. ඊට අවශ්‍ය පරිදි නිර්ප්‍රභූ මුහුණක හා ප්‍රභූ වෘත්තිමය මුහුණුක දෙමුහුමක් චම්පිකගෙන් මූර්තිමත් වෙයි.

ප්‍රභූ දේශපාලන පංතිය හා එහි ලිබරල් සිවිල් සමාජ ස්ථරයේ මෙකී හදිසි ෆැන්ටසික රූපය මූර්තිමත් කිරීමට පාඨලී චම්පික සමත් වන තරමට එය ඉදිරි දේශපාලනය චලනය කරන තීරණාත්මක ලීවරයක් වනු ඇත. විශේෂයෙන්ම ඉදිරියේදී ජාතික ජන බලවේගය වෙත ලංකාවේ ආණ්ඩුකරණ බලය විතැන් වීමට ඉඩක් ඇත්නම් යටකී සාධකය සජිත් වර්ගයේ විකට රූපයන්ට වඩා තීරණාත්මක වනු ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?