Latestදේශීය

විද්‍යා ඝාතන නඩුවේ පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරු ඉවත්වේ

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයෙන් සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරියක් පැහැරගෙන ගොස් සමුහ දුෂණයට ලක් කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කළ පංච ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා (06) ඉවත් වී තිබේ.

මෙම අභියාචනා ඊයේ එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ, ඒ. එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලදී.

එහිදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා සඳහන් කර ඇත්තේ, තමා නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරී කළ සමයේ මෙම නඩුවේ කටයුතු අධීක්ෂණය කර තිබෙන හෙයින් තමා මෙම අභියාචනා විභාගයෙන් ඉවත්වීමට තීරණය කළ බවය.

ඉන් අනතුරුව අදාළ අභියාචනා ජූලි මස 30 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

මෙහිදී අභියාචනය ඉදිරිපත් කළ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ පරිවර්තන නිසියාකාරව නොලැබීම නිසා මෙම නඩුවේ විභාගය වසර 06ක් පමණ ප්‍රමාද වී තිබෙන බව සඳහන් කර තිබේ.

ඊට පිළිතුරු දෙමින් විනිසුරු තුරෙයි රාජා සඳහන් කර ඇත්තේ, පරිවර්තකයෙන්ගේ හිඟයක් පවතින හෙයින් මෙම කටයුතුවලද ප්‍රමාදයක් සිදුවී ඇති බවය.

එම අවස්ථාවේදීත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිට ඇති සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ පරිවර්තන කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවත් දැනට සිදු කර තිබෙන පරිවර්තන අතරින් දෝෂ සහිත කොටස් නිවැරදි කිරීමේ කටයුතු කරමින් තිබෙන බවත් සඳහන් කර ඇත.

ඒ අනුව පරිවර්තන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස නියෝග කර ඇති විනිසුරු මඩුල්ල එම කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා අදාළ අභියාචනා පෙත්සම් ජූලි මස 30 වනදා කැඳවන ලෙසද නියෝග කර තිබේ.

2015 වසරේ මැයි මස 13 වනදා යාපනය පුංකුඩුතිව් ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වන සිවලෝග නාදන් විද්‍යා දැරිය පැහැර ගෙන ගොස් සමූහ දූෂණයට ලක්කොට මරා දැමීමේ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් පිරිසකට යාපනය මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබිණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?