ලංකාවේ ප්‍රවෘත්ති බැලුවම රුධිර පීඩනය ඉහළ යන බව නලීන් ද සිල්වා පැවසුවා – චන්න ජයසුමන
මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන අද ඉරිදා දිවයිනට සැපයූ ලිපියක් මගින් ඒ මහතා පිළිබඳවත් ඔහුගේ අභාවයට හේතු වූ අසනීප තත්ත්වය පිළිබඳවත් හෙළිකර ඇත.
මේ දැක්වෙන්නේ එම ලිපියයි.
නිවී ගිය මිණි පහන- ජාතික චින්තනයේ පෙර ගමන්කරු ආචාර්ය නලින්
පාණදුරේ වෑකඩ දී දරුවන් අටදෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමලා ලෙස 1944 ඔක්තෝබර් 20 දා උපන් ථකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ළිඳමුලගේ නලින් කුමාර් ද සිල්වා මහතාගේ දෙමාපියන් වූයේ දනියෙල් ද සිල්වා හා ඬේලින් පෙරේරා ගුරු යුවලයි. විදුහල්පතිවරයකු වූ ඔහුගේ පියාණන්ගේ ගේ මග පෙන්වීමෙන් ගමේ පන්සලත් එහි පුස්තකාලයත් ඇසුරට ඔහු කුඩාකලම යොමු විය. හෙතෙම පාණදුර වෑකඩ බෞද්ධාලෝක පාසලේ තුන්වන පන්තිය දක්වාත්, පස්වන පන්තිය දක්වා තර්ස්ටන් විදුහලේත් ඉගෙනුම ලබා ඇත. තර්ස්ටන් විදුහලේ ඔහු දැක්වූ දක්ෂතා මත පංතිභාර ගුරුතුමිය ඔහු ගැන ලේක්හවුස් පුවත්පතකටද ලිපියක් ලියා තිබේ.
හයවන ශ්‍රේණියේදී කොළඹ රාජකීය විදුහලේ විශේෂ පරීක්ෂණය සමත්ව සරසවි ප්‍රවේශය දක්වා එහි අධ්‍යාපනය ලබන හෙතෙම, පාසල් විය නිම කරන්නේ ශුද්ධ ගණිතයට හා ව්‍යවහාරික ගණිතයට වැඩිම ලකුණු ලබන්නාට හිමි රාජකීය විද්‍යාල ත්‍යාගය ද ලබාගනිමිනි. එවකට රාජකීය විදුහලේ විවාද කණ්ඩායම් නායකයාද එතුමා වූ අතර, විවාදකයන් වෙනුවෙන් පිරිනමන වීරසූරිය ත්‍යාගයද දිනා ගන්නට සමත් විය. රාජකීය විදුහලේ සිසුවකුව සිටියදී සිංහල විවාද කණ්ඩායමේ ඇති වූ සිද්ධියකදී විදුහල්පතිවරයා විවේචනය කරමින් රාජකීය විදුහල සිංහලට තැනක් නොදෙන බවට ලිපියක් සකසා එය විදුහල්පතිවරයාට ගෙන ගොස් දී ඇති ඔහු කුඩා කල සිට තම නිවහල් බව ක්‍රියාවෙන් සාධනය කොට ඇත. සාමාන්‍ය පෙළින් පසු සෑම ගණිත හා භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයකටම පැය එකහමාරකින් පිළිතුරු ලියා ශාලාවෙන් නික්ම ගොස් තිබූ ඔහුට විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණයෙන් ශිෂ්‍යත්වයක් හිමි විය. ඒ අතර ලංකාවේ උපාධි අන්තර්මධ්‍යම ලෙස සැලකූ ලන්ඩන්
විශ්වවිද්‍යාලයේ උසස් පෙළ පරීක්ෂණයටද පෙනී සිට එයින් ඉහළින්ම සමත් වීමේ සහතිකය මත විශ්වවිද්‍යාලයට පිවිසීමට ගතවන අතරමැදි කාලය තුළ වාද්දූව මධ්‍යම විද්‍යාලයේ කෙටි කලක් උසස් පෙළ ගණිතය ඉගැන්වීම් ද කර ඇත.
1962 දී භෞතීය විද්‍යා ධාරාවෙන් ලංකාවේ සියලු පීඨවලට ඇතුළත් වීමට සුදුසුකම් සහිතව ඉහළම ලකුණු ලැබූ දහදෙනාගෙන් එක් අයකු වශයෙන් ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමේ අවස්ථාව ඔහුට තිබුණ ද සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු (Theoretical Physicist) වන අරමුණ සහිතව ඔහු ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණි මණ්ඩපයට ඇතුළත් වූ අතර, ගණිත විශේෂ උපාධියට තේරුණ පසු කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණ 1967 ඔක්තෝබරයේදී දී ගණිතය පිළිබඳ ප්‍රථම පංතියේ ගෞරව සාමර්ථ්‍යයක් දිනා ගත්තේය. සරසවියේ දෙවැනි වසරේදීම උපාධි අවසන් පරීක්ෂණයට පෙනී සිටින්නට ඔහු අවසර ඉල්ලා ඇති අතර, අංශාධිපති ඩග්ලස් අමරසේකර මහතා හැර අන් ආචාර්යවරු ඊට එකඟ වී නැති බැවින් ඒ අවස්ථාව ලැබී නැත. 1967 ඔක්තෝබරයේදී තාවකාලික සහාය කථිකාචාර්යවරයෙක් හා 1968 මාර්තුවේදී පරිවාස කථිකාචාර්යවරයෙකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එක් වූ එතුමා අනතුරුව වැඩිදුර අධ්‍යාපනය පිණිස විශ්වවේදය (Cosmology) විෂයයට කීර්තියක් ඉසිළු මහා බ්‍රිතාන්‍යයයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයට 1969 ජනවාරිවලදී ඇතුළත් විය.
සසෙක්ස් වෙත ගිය නලින් ද සිල්වාගේ උපදේශකයා වූයේ රාජකීය තාරකා විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපතිවරයකු හා කීර්තිමත් විද්‍යාඥයකු හා ගණිතඥයකු වූ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ගණිත අංශ ප්‍රධාන ලෙස ද කටයුතු කර තිබූ ශ්‍රීමත් මහාචාර්ය විලියම් මැක්රේය. ගුරුත්වජ කාච හා ක්වේසාර පිළිබඳ අධ්‍යයනය කරන මෙන් මැක්රේ නලින් ද සිල්වාට උපදෙස් දී ඇත. එය සාධාරණ සාපේක්ෂතාවාදී න්‍යාය ඇසුරෙන් සිදු කළ යුතු වුවද, ඒ වනවිට ලංකා විශ්වවිද්‍යාලයේ එම ප්‍රවාදය උගන්වා නොතිබුණ නමුත් ස්වයං අධ්‍යයනය මගින් එය හදාරා තිබීම නිසා නලින් ද සිල්වා මහතා ඒ ගැන අධ්‍යයනයට යොමුව ඇත. එසේම ගුරුත්වජ කාච මගින් ඇති කෙරෙන බහුප්‍රතිබිම් ගැන පළමුව පෙන්වා දුන්නේත් එතුමායි. එම සෛද්ධාන්තික පෙන්වාදීම පසුව බොබ් කාර්ස්වල් නමැති විද්‍යාඥයා විසින් නිරික්ෂණය කරන ලදි. ඒ අනුව අද අයින්ස්ටයින් කුරුසය (The Einstein Cross) ලෙස බටහිර විද්‍යාවේ ඉගැන්වෙන කරුණ පළමුව ප්‍රවාද ගත කළේ එතුමාය. එහෙත් මැක්රේ විසින් ලබා දුන් එම ගැටලුවට අමතරව ද සිල්වා, භ්‍රමණය වන වස්තුවක් වටා අංශු චලනය වීම පිළිබඳ තවත් ගැටලුවක්ද විසඳීමටද යොමුවිය. ඒ අනුව ඔහු මැක්රේ යටතේ සිදුකළ ආචාර්ය උපාධි නිබන්ධය වූයේ තාරකා භෞතිකයේ සාපේක්ෂතාවාදී ගුරුත්වජ ආචරණ (Relativistic Gravitational Effects in Astrophysics) යන මාතෘකාවයි. වයස අවුරුදු 26 වන විට ඔහු එය නිම කළ අතර, දර්ශන විශාරද උපාධියකට අවශ්‍ය අවම කාලය වන වසර දෙකකට පෙර එම පර්යේෂණය අවසන් කළ බැවින් ඊට දර්ශනපති උපාධියක් ලබා දෙන මෙන් මැක්රේගෙන් ඉල්ලා ඇත. නමුත් මහාචාර්ය මැක්රේගේ නිර්දේශය මත සසෙක්ස් සරසවිය දර්ශන විශාරද (ආචාර්ය) උපාධියක් පිරිනැමීමේ උපාධි පටිපාටිය සංශෝධනය කර නලින් ද සිල්වාට එකී උපාධිය පිරිනැමීය. මහාචාර්ය මැක්රේ විසින් සසෙක්ස්වලදී ඔහුට ලබා දුන් සහතිකයක එතුමා ගැන සටහන් තබනු ලැබ ඇත්තේ ඔබේ රට ඔබ ගැන ආඩම්බර වනු ඇත “Your country will be proud of you” යනුවෙනි. ඒ කාලය වන විට එතුමාගේ පර්යේෂණ පත්‍රිකා ලොව ඉහළම පර්යේෂණ සගරාවක් වන නේචර් සඟරාවේ පවා පළවිය.
ලංකාවට පැමිණි ඔහු පේරාදෙණියේ කනිටු ආචාර්යවරයකු ලෙස වසර පහක් කටයුතු කෙළේය. මාක්ස් ට්‍රොට්ස්කිවාදියකු හා සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු වශයෙන් කටයුතු කරමින් සිටි එතුමා 1975 දී විදෙස් ගතව නැවත 1977 දී ලංකාවට පැමිණියත් පේරාදෙණියේ ඉගැන්වීමේ අවස්ථාව අහිමි විය. 1964 සිට ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයෙක් වූ එතුමා 1974 දී නව සමසමාජ පක්ෂය පිහිටුවීමේදී එයට එක්ව එහි මධ්‍යම කාරක සභිකයකු ලෙසද කටයුතු කළ අතර, 1980 ජූලි වර්ජනයට පෙර එයින් ඉවත් විය. 1979 දී , කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අංශයට ආචාර්යවරයෙකු ලෙස එකතු වන එතුමා මාක්ස්වාදය න්‍යායාත්මකව ප්‍රශ්න කරමින් සිදු කළ රචනා මගින් ප්‍රබල සංවාදයක් ඇති කළ අතර, ඉන් පසු විද්‍යාවේ පදනම ද ප්‍රශ්න කරමින් අදහස් ඉදිරිපත් කළේය. ඒ අදහස් ඔස්සේ ආචාර්ය ද සිල්වා 1983 පටන් ජාතිකවාදී ප්‍රවේශයකට යොමු විය. අසූව දශකයේදී නැවත ඔහු සසෙක්ස් වෙත ලැබුණු රාජකීය සංගමයේ වසරක අධිශිෂ්‍යත්වයක් මත එහි ගොස් සේවය කොට ඇත.
1986 වසරේදී ආචාර්ය නලින් “මගේ ලෝකය” කෘතිය තුලින් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය නම් නව දැනුමක් එළිදැක්වීමෙන් දාර්ශනික විප්ලවයකට මග පෑදීය. එතැනින් ඇරඹි නව දාර්ශනික ගමන ඔස්සේ සිංහල බෞද්ධ ජන සමාජය නව මානයක් වෙත යොමු කිරීමට එතුමා මැදිහත් විය. ආචාර්ය නලින් ඕනෑම ඉදිරිපත් කිරීමක් සංගත ලෙසත්, නිරවුල් ලෙසත් සිදු කිරීම ලාංකීය තරුණ බුද්ධිමතුන් වසග කිරීමට සමත් විය. 1985-2015 තිස්වසරක කාලය තුල ශ්‍රී ලාංකීය සරසවි සිසුන්ගේ ජනකාන්තම දේශකයා ඔහු බව පැවසීම අතිශෝක්තියක් නොවේ. ඍජු විෂය කරුණුවලට අමතරව විවිධ මාතෘකා අරභයා විශ්වවිද්‍යාල පද්ධතිය පුරා ආචාර්ය නලින් පැවැත්වූ දේශන සහ සංවාද වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා, කලා, වාණිජ බේදයකින් තොරව සරසවි සිසුන් අතර ජනප්‍රිය විය. අති දක්ෂ ගුරුවරයෙකු වූ එතුමා සිය අදහස් නිර්මාණශීලී ලෙසත් ආකර්ෂණීය ලෙසත් ඉදිරිපත් කිරීමෙහි සැබෑම ශූරයකු විය. තමා ඉදිරිපත් කරන දේ සමග එකඟ නොවන අයෙකු වුවද දේශනය අවසාන වන තෙක් රඳවා ගැනීමෙහි, බැඳ තබා ගැනීමේ අපූර්ව දක්ෂතාවක් එතුමා සතු විය. අපෝහකයේ රූපිකය සහ මාක්ස්වාදයේ දරිද්‍රතාවය කෘති මගින්, ඒ හා සමගාමීයව සැපයු පුවත්පත් ලිපි, වාද-විවාද, සංවාද මගින් ආචාර්ය නලින් දශක 5 ආසන්න කාලයක් තුල ශ්‍රී ලංකාවේ බුද්ධිමය ආධිපත්‍ය දැරූ මාක්ස්වාදය තීරණාත්මක ලෙස පරාජය කළේය.
1982 සිට උපාලි පුවත්පත් සමාගමේ දිවයින, ද අයිලන්ඩ් හා විදුසර පුවත්පත් ඔස්සේ පමණක් එතුමා පල කළ ලිපි සංඛ්‍යාව 2000 ආසන්න වේ. ඔහු විසින් සිදු කළ දේශන මෙන්ම වාද විවාද ද මෙතෙකැයි ගණනය කළ නොහැකිය. ගවේෂකයෝ, චින්තන පර්ෂදය හා වීමංසක පර්ෂදය වැනි සංවිධාන පිහිටුවමින් තම ජාතිකවාදී අදහස් සංවාදයට ලක් කල එතුමා කොටි ත්‍රස්තවාදය යුදමය වශයෙන් පැරදවීමට හැකි බව සහ කල යුතු බව සමාජගත කිරීමේ ද ආරම්භකයා ද වෙයි. ආචාර්ය නලින්ගේ අභාවය ගැන දැන ගැනීමෙන් තමන් මහත් සංවේගයට පත් වූ බව සටහනක් තබන කොටි පැරදවීමට දේශපාලන නායකත්වය ලබා දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ ගැන සිය කෘතවේදීත්වය පල කර ඇත්තේ “අපගේ මාතෘභූමිය බැට කෑ බෙදුම්වාදී ත්‍රස්වාදයට එරෙහි වෙමින් ද එය යුදමය වශයෙන් පරාජය කළ හැකි බව දීර්ඝ කාලයක් තිස්සේ ජනගත කරමින් ද එතුමා ඉටුකළ කාර්යභාරය, ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට අයෝමය ශක්තියක් වූ බව ගෞරවයෙන් සිහිපත් කරමි”. යනුවෙනි.
සිංහල බෞද්ධ චින්තනය මත පදනම්ව මතවාදී දේශපාලනයේ නිරත වූ ආචාර්ය නලින් ද සිල්වා දර්ශනය, සාහිත්‍ය, කලාව, ඉතිහාසය ආදී සමාජීය හා මානව ශාස්ත්‍ර විෂය රාශියක මෙන්ම ගණිතය, විශ්වවේදය ආදී විෂය රැසක ද නව අදහස්, සංකල්ප, ප්‍රවාද නිර්මාණය කොට ඇත. ථෙරවාදී බුදු දහමේ අවිනිශ්චිත සහ මතබේදකාරී ස්ථාන ගණනාවක් පිලිබඳ එතුමා ලබා දුන් සංගත අර්ථ විවරණ ගිහි පැවිදි විද්වතුන් ගණනාවකගේ සම්භාවනාවට පාත්‍ර වී ඇත. තවද සිංහල අවුරුද්ද පිලිබඳ එතුමාගේ පැහැදිලි කිරීම ඒ ගැන සිදුකල විශිෂ්ඨතම අර්ථ විවරණය බව අවිවාදිතය. ඉරිදා දිවයින, බදාදා ද අයිලන්ඩ් සහ විදුසර පුවත්පත්වලට දීර්ඝ කාලයක් ලිපි සැපයීමෙන් පසු අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ එතුමා දිනපතා ලිපි සැපයීය. එමගින් සිංහල සමාජයට ඇති කල බලපෑම තවත් සියවස් ගණනාවක් පවතිනු ඇති බව බව මගේ විශ්වාසයයි.
1992 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් එතුමා වැඩතහනමකට ලක් විය. සිය වැඩතහනමට විරුද්ධව තනිවම නීති මගින් කටයුතු කළ එතුමා නිර්දෝෂ බව 2001 දී අධිකරණයෙන් තහවුරු වූ පසු ඔහු එම වසරේදී කැලණිය සරසවියේ ගණිත අංශයට සම්බන්ධ වූ අතර එහි මහාචාර්යවරයකු හා අංශ ප්‍රධාන වශයෙන් කටයුතු කෙළේය. කෘෂිකාර්මික වකුගඩු රෝගය පිලිබඳ පර්යේෂණ කටයතුවලට එතුමා සිය දායකත්වය ලබා දෙන්නේ මෙකලය. ඒ ඔස්සේ දැනුම ලබා ගැනීමට අධ්‍යාත්මික ක්‍රම වේද යොදා ගැනීම පිලිබඳ සංවාදයක් ඇරඹුණු අතර එය සිංහල ජන සමාජය තුල කැළඹීමක් ඇති කළේය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ (FUTA) ලේකම් හා සභාපති ධුර මෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයේ සභාපතිත්වයද එතුමා දරා ඇත. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නිසි වැටුප් තල වල පිහිටුවීමට ඒ මහතා පුරෝගාමී මෙහෙයක් ඉටු කළේය. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මියන්මාරයේ තානාපතිවරයා ලෙස 2020 වර්ෂයේදී ඔහුව පත් කළ අතර වසරකට ආසන්න කාලයක් එහි සේවය කළේය.
සියලු දැනුම් මනසට,ඉන්ද්‍රිය පද්ධතියට සහ සංස්කෘතියට සාපේක්ෂ බව පැවසූ ආචාර්ය නලින් බටහිර විද්‍යාවද තවත් එක් දැනුම් පද්ධතියක් පමණක් බවත් එහි වාස්ථවිකත්වයක් නැති බවත් සහේතුකව, සංගතව,නිරවුල්ව ඉදිරිපත් කළේය. බටහිර විද්‍යාව “පට්ටපල් බොරුවක්” බවට වූ ඔහුගේ දාර්ශනික ප්‍රකාශය එහි ගැඹුරක් නොදත් මතුපිටින් පමණක් ගත් දාර්ශනික නොදරුවෝ ඒ මත පිහිටා ඔහුට අපහාස කළහ; නිර්දය ලෙස විවේචනයට ලක් කළහ. එහෙත් දාර්ශනික අරුතෙන් සියලු දැනුම් බොරු බවත් ඒ සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිබඳ අනවබෝධයෙන් අවිද්‍යාව හේතු කොට කළ නිර්මාණ බවටත් වන ඔහුගේ ප්‍රකාශය පුහු විවේචකයෝ නොදුටුවහ. සියලු දැනුම් බොරුවන ලෝකයක බටහිර විද්‍යාවද පට්ටපල් බොරුවක් බව ඔහුගේ ප්‍රකාශය විය.
ආචාර්ය නලින්ගේ මතවාදීය, දාර්ශනික බලපෑමට යටත් නොවුනු 1980 පසු බිහිවූ බුද්ධිමතකු, උගතකු මෙරට සිටිය නොහැකිය. අප පෙරාදෙණි සරසවියේ සරසවි සංවාද කේන්ද්‍රය නමින් පිහිටුවා ගත් ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී වූ අවධියේ මසකට වරක් ආචාර්ය නලින් ද සිල්වා එහි දේශනයකට හෝ සංවාදයකට සහභාගී විය. එවන් සංවාදයකට සහභාගී වූ ආචාර්ය නලින්ගේ මතවාදීය පස මිතුරෙකු වරක් මට ප්‍රකාශ කළේ ඔවුන් සති මාස ගණනක් අධ්‍යායනය කර අදහසක් ඉදිරිපත් කළ විට නලින් ද සිල්වා මිනිත්තු කිහිපයකින් ඒ අදහස ඛන්ඩනය කරන බවයි. ආචාර්ය නලින්ගේ ක්ෂණික අවබෝධ කර ගැනීමේ ශක්තිය, වහා වැටහෙන නුවණ, සහ අප්‍රමාදීයව ප්‍රතිචාර දැක්වීමේ හැකියාවට කිට්ටු වීමට හෝ හැකි අයෙක් මෙතෙක් මගේ ජීවිත කාලය තුළ මුණගැසී නැත.
අද පාර්ලිමේන්තුව නියෝජනය කරන අතුරලියේ රතන හිමි, පාටලී චම්පික රණවක, විමල් වීරවංශය, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, අනූප පැස්කුවෙල්, චරිත හේරත්, සුරේන් රාඝවන් සහ මා ද සෘජු ලෙසම ආචාර්ය නලින්ගේ අදහස්වලින් අඩු වැඩි වශයෙන් පෝෂණය වූ අයයි. දේශපාලන පොරපිටියට පිවිස ඇති ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ද තමන්ගේ මතවාද, අදහස් වෙනුවෙන් වැඩිම බලපෑමක් සිදු කර ඇත්තේ ආචාර්ය නලින්ද සිල්වා මහතා බව ප්‍රකාශ කර ඇත.
ආචාර්ය නලින්ට පළමු වතාවට හෘදයාබාධයක් වැළදෙන්නේ 2013 වර්ෂයේය. හෘද සැත්කමකට ද ලක් වූ එතුමන් බටහිර සහ සිංහල වෛද්‍ය ක්‍රම දෙකටම අනුව ප්‍රතිකාර ලබා ගත්තේය. මියන්මාරයේ තානාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ කොවිඩ් රෝගයට ගොදුරු වූ එතුමා එවර ද අසාධ්‍ය තත්ත්වයට පත් විය. එතැන් සිට වරින් වර අසනීප තත්ත්වයට ලක් වූ එතුමාගේ රුධිර පීඩනය බෙහෙවින්ම විචල්‍ය විය. මාස කිහිපයකට පෙර සිය දියණියගේ සහ පුතාගේ සුව දුක් බැලීමට ආචාර්ය නලින් එම මැතිණිය සමග විදේශගත විය. එහි සිටියදී සති කිහිපයකට පෙර මොළයේ සිහින් රුධිර නාලයක් පුපුරා අසනීප තත්වයට පත් විය. කෙසේ වෙතත් ඉන් පසුවද ඔහු අඛණ්ඩව දිනපතා ලිපිය සැපයීම සිදු කළේය.
එතුමා විදේශ ගතවූ සෑම විටකම පාහේ දින කිහිපයකට වරක් හෝ මා අමතා රටේ තොටේ විස්තර දැන ගැනීමත්, අසනීප තත්ත්වයක් වේ නම් ඒ ගැන පැවසීමත් පුරුද්දක් ලෙස සිදු කළේය. මිය යෑමට දින දෙකකට පෙර දුරකථනයෙන් මා ඇමතු එතුමා පැවසුවේ තමන්ගේ අත් කකුල්වලට වෙනදාට වඩා ශීතලක් දැනෙන බවත් රැධිර පීඩනය නිරතුරුව විචල්‍ය වන බවත්ය. මේ දිනවල ආනාපාන සතිය වඩන බවද එතුමා මට පැවසීය. තවද ලංකාවේ ප්‍රවෘත්ති බැලීම නවතා ඇති බවත් ඒවා බැලූ විට ප්‍රෙෂර් වැඩි වන බවත් සිනහ සෙමින් පැවසීය. විස්තර විචාල මා, අප්‍රමාදීයව රෝහල් ගතවී ප්‍රතිකාර ලබා ගන්නා ලෙස පැවසීමි. නලින් ද සිල්වා මැතිතුමන්ගේ අභාවය පිළිබඳ මා මුලින්ම දැනගත්තේ එංගලන්තයේ වෙසෙන එතුමාගේ සහෝදරයකු වන වසන්ත ද සිල්වා මහතාගෙනි. එසැනින් ආචාර්ය නලින් පසුපස සෙවනැල්ලක් මෙන් දශක පහක් රැඳී සිටි තමරා ද සිල්වා මැතිනිය ඇමතු මා විස්තර දැනගතිමි.
ආචාර්යයෙන් නලින් යුගයක් බිහිකළ, යුගයක් එකලු කළ දාර්ශනිකයෙකි; ප්‍රඥාවන්තයෙකි; සම්‍යක්දෘෂ්ටික චින්තකයෙකි; කථිකයෙකි; ලේඛකයෙකි; සටන්කරුවෙකි; වයසට නොගිය ලෙන්ගතු මිනිසෙකි. අප ශිෂ්ඨාචාරය තුළ සංස්කෘතිය තුළ පැවිදි දාර්ශනිකයන් ගැන සඳහන් වුවද, ගිහි දාර්ශනිකයන් ගැන සඳහනක් නැත. සිවු සාලිස් වසක් අඛණ්ඩව, අවිවේකීයව සිදුකළ දාර්ශනික යුග මෙහෙවර පිළිබඳ සමස්තයක් ලෙස බැලීමෙන් ආචාර්ය නලින් ද සිල්වා සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය බිහිකළ අග්‍රගන්‍යම ගිහි දාර්ශනිකයා යැයි පැවසීම හැර වෙනත් ගෞරවයක් එතුමාට ලබාදිය නොහැකිය.
බෝධිසත්ව ගුණෝපේත ආචාර්ය නලින් ද සිල්වා ආදරණීය ගුරුපියාණන් සසර කෙළවර ප්‍රාර්ථනා කළ බෝධියකින් අමාමහ නිවන්ට පත් වේවා!
වෛද්‍ය චන්න ජයසුමන
පාර්ලිමේන්තු මන්ත්‍රී
ආචාර්ය නලින් ද සිල්වා රචිත කෘති
•මගේ ලෝකය
•ජාතිය සංස්කෘතිය සහ චින්තනය
•අපෝහකයේ රූපිකය
•මාක්ස්වාදයේ දරිද්‍රතාවය
•ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා සහ මස්සිනාලා
•An Introduction to Tamil Racism in Sri Lanka
•නිදහසේ පහන් ටැඹ
•නිදහස දිනාගැනීම
•ජාතියේ ඉරණම
•සිංහල අවුරුද්ද
•විද්‍යා කතාන්දර
•මැතිවරණය හා හාමුදුරුවෝ
•පනස්හයේ දරුවෝ
•අපේ ප්‍රවාද 1-2-3
•පරිසරය හා බටහිර ආකල්ප
• බටහිර විද්‍යාව, ආසනික් හා දෙවියෝ