Latestදේශීය

සජිත් ෆොන්සේකා ගැටුම තවත් උග්‍ර වෙයි

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු විසින් දරන තනතුරුවලින් ඔහුව ඉවත් කිරීම වළක්වාලමින් තමන් ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවන තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සම ඊයේ (06) කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන් සමරකෝන් නියෝග කළේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 21 වනදා නැවත කැඳවන ලෙසය.

හිටපු හමුදාපතිවරයකු වන දයා රත්නායක සමගි ජන බලවේගයට එක් කරගැනීම සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශවලින් පසුව සිය පක්ෂ සමාජිකත්වය හා පක්ෂය තුළ තමන් දරන තනතුරුවලින් ඉවත් කිරීමට සමගි ජන බලවේගයේ නායකයින් සූදානම් වන බවට සරත් ෆොන්සේකා විසින් පැවරූ නඩුවක් විභාග කළ කොළඹ දිසා අධිකරණය සරත් ෆොන්සේකා එම තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණි.

එම වාරණ නියෝගය ඉවත් කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් කළ ඉල්ලීමක් ද කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

කොළඹ දිසා අධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් ඒ අනුව අදාළ තීරණය ප්‍රතිශෝධනය කොට සරත් ෆොන්සේකා මහතා විසින් ලබාගත් වාරණ නියෝග අත්හිටුවීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර ඇත.

සමගි ජන බලවේග සභාපති සරත් ෆොන්සේකා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් පසුගිය පෙබරවාරි 19 වනදා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා වෙත දින 14ක් කාලයකට මෙම වාරණ නියෝග නිකුත් කර තිබිණි.

පසුව එම වාරණය අවස්ථා කිහිපයකදීම දිර්ඝ කරන ලදී.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?