Latestදේශීය

වීසා නිකුත් කිරීම ලබා දී ඇත්තේ මොඩිගේ ගජමිතුරු VFS Global සමාගමටයි

වීසා නිකුත් කිරීමේ පරම අයිතිය මෙරට නීතිය අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව තිබියදී එය තුට්ටුවකට හෝ මායිම් නොකර “රනිල් රාජපක්ෂ” ආණ්ඩුව On Arrival Visa සහ Online Visa ලබා දීමේ බලය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ ගජ මිතුරෙකු වන සුබින් කර්කාරියා(Zubin Karkariya)ට අයත් VFS Global නමැති සමාගමට පවරාදීමට දැඩි විරෝධය පළ කරන බව කී ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා එම තීරණය වහාම ආපසු හරවන ලෙස ආණ්ඩුවට බල කර සිටියේය.

ඒ මහතා පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ  සඳහන් කළේය.

මෙසේ කවර හෝ දේශීය හෝ විදේශීය පෞද්ගලික සමාගමකට වීසා පහසුකම් ලබාදීමේ බලය පවරාදීම ආගමන විගමන පනතට පටහැනි නීතිවිරෝධී ක්‍රියාවක් බවත් එවැනි තීරණයක් ගැනීමට අවශ්‍ය නම් ආණ්ඩුව පළමුව කළ යුතුව ඇත්තේ ආගමන විගමන පනත සංශෝධනය කිරීම බවත් එවැන්නකට එල්ල වන ජනතා විරෝධය යටපත් කිරීමට ඔවුන් මෙවැනි පියවරක් හොරරහසේම රැගෙන ඇති බවත් සමරවීර මහතා පෙන්වා දුන්නේය.

යම් තැනැත්තකුට ශ්‍රී ලංකාවට පැමිණ, එහි රැඳී සිටීමට අවශ්‍ය නීතිමය අවසරය අද ලබා දෙන්නේ ඉන්දියානු සමාගමක් විසින් නම් එමගින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවනවා පමණක් නොව එය රාජ්‍යවිරෝධී ක්‍රියාවක් බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය

එපමණක් නොව මෙසේ වීසා පහසුකම් සැපයීමේ අවස්ථාව පෞද්ගලික සමාගමකට පැවරීම මගින් ශ්‍රී ලංකාවට වසරකට අහිමි වන ආදායම ඩොලර් මිලියන හැටක් පමණ වන බැවින් “රනිල් රාජපක්ෂ ආණ්ඩුව” ගන්නා ලද මෙම තීරණයෙන් ආර්ථික අපරාධයක් සිදුවන බවට ද සමරවීර මහතා චෝදනා කළේය.

එසේම මෙම සමාගම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් වීසා ගාස්තුවට අමතරව ඩොලර් 25ක සේවා ගාස්තුවක් ද අය කිරීම සංචාරකයන්ගේ ප්‍රසාදයට හේතුවක් නොවන බවත් ලොව පුරා රටවල් සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට වීසා ගාස්තු අය නොකිරීමට තීරණ ගනිද්දි මේ ආණ්ඩුව මෙවැනි අමනෝඥ තීරණ ගනිමින් මෙරට සංචාරක ව්‍යාපාරයට මරු පහරක් එල්ල කර ඇති බවත් ජානිපෙ ජාතික සංව්ධායකවරයා පැවසීය.

මෙසේ ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් ද ජාතික ආරක්ෂාව අනතුරේ හෙළමින් ද  රටට ආර්ථික අපරාධයක් සිදු කරමින් ද සංචාරක ව්‍යාපාරයට මරු පහරක් එල්ල කරමින් ද මෙවැනි තකතිරු තීන්දුවක් ගැනීමට “රනිල් රාජපක්ෂ ආණ්ඩුව” පෙළඹී ඇත්තේ තම න්‍යාය පත්‍රයේ අංක එකට ඇත්තේ “ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ සපුරා ඒකාබද්ධකරණයකට ලක්කිරීම” නිසා බව ද මහතා වැඩිදුරටත් පැවසීය.

මුදල් ඒකක ඒකාබද්ධකරණය, විදුලි බල පද්ධති හා ඉන්ධන නල පද්ධති ඒකාබද්ධකරණය හෙවත් බලශක්ති ඒකාබද්ධකරණය, දෙරට රේගු ඒකාබද්ධකරණය, මූල්‍ය හා බදු ප්‍රතිපත්ති ඒකාබද්ධකරණය(එට්කා ගිවිසුම අත්සන් කිරීම ඇතුළුව), ගුවන් තොටුපළ හා වරාය  ඒකාබද්ධකරණය, දෙරට අතර පාලම්, දුම්රිය මාර්ග හා මහා මාර්ග ඉදිකිරීම මගින් භෞතික ඒකාබද්ධකරණය යන “ඉන්දු ශ්‍රී ලංකා සය වැදෑරුම් ඒකාබද්ධකරණ වැඩපිළිවෙළකට” 2023 ජූලි 23 වැනිදා  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ඉදිරියේ එකඟ වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැන් එම වැඩපිළිවෙළ කඩිනමින් ඉදිරියට ගෙනයන බව ද සමරවීර මහතා මෙහිදී මාධ්‍ය හමුවේ දීර්ඝ වශයෙන් අනාවරණය කළේය.

ඉහත කී ඒකාබද්ධකරණ වැඩපිළිවෙළ හා සමගාමීව වීසා පහසුකම් සැපයීමේ බලය ඉන්දියානු සමාගමකට පවරාදීමේ තීන්දුව මෙම පරගැති ආණ්ඩුව විසින් රැගෙන ඇති බව කී ජයන්ත සමරවීර මහතා අවසානයේ මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව නුදුරේදීම ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට පත්වනු ඇති බවට ද අනතුරු ඇඟවූවේය.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?