Latestවිදේශීය

ඉරානයම හඬයි,ලොවම කැළඹෙයි – රයිසි සමුගනී

(ෆවුස් මොහොමඩ්)

ඉරානයේ හිටපු ජනාධිපති ඉබ්‍රාහිම් රයිසිගේ අවසන් කටයුතු ඊයේ (21) නැඟෙනහිර ඉරානයේ ටබ්රිස් කඳුකර පළාතේදී දහස් සංඛ්‍යාත ජනතාවගේ අවසන් ගෞරවය මධ්‍යයේ ආරම්භ විය. 63 හැවිරිදි ඉරාන ජනාධිපතිවරයාගේ අවසන් කටයුතු හෙට (23) ඔහුගේ උපන් බිම වන ඊසාන දිග ඉරානයේ මෂ්ෂාද් නුවරදී අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බවත්, ඊට පෙර අවමංගල උත්සව රැසක් පැවැත්වෙන බවත් අවමංගල උත්සව කමිටුවේ ප්‍රධානී ඉරානයේ උපජනාධිපතිවරයකු වන මොහ්සේන් මන්සූරි දැනුම් දී ඇතැයි රජයේ මාධ්‍ය ඊයේ (21) නිවේදනය කළේය. ටබ්රිස් ප්‍රාන්තයේදී ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු දහවල් කාලයේදී ඉරානයේ ශුද්ධ වූ කෝම් නුවරට රැගෙන එනු ලැබූ ජනපතිවරයාගේ දේහය මහජන ගෞරවය සඳහා ටෙහෙරාන් අගනුවර ඉමාම් කොමේනි දේවස්ථානයේදී සිදු කිරීමට නියමිතව තිබිණි.

අනතුරුව දේහය අද (22) උදෑසන ටෙහෙරාන් විශ්වවිද්‍යාලයටත්, අනතුරුව අගනුවර ආසාදි චතුරස්‍රයටත් රැගෙන යෑමට නියමිත අතර, ඉහළ මට්ටමේ විදේශීය ප්‍රභූවරුන්ගේ සහ නියෝජිතයන්ගේ අවසන් ගෞරවය සඳහා ටෙහෙරාන් නුවර විශේෂ උත්සවයක් පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ. සිය උපන් බිම වන මෂ්ෂාද් නුවරදී මිහිදන් කිරීමට පෙර දේහය පිළිබඳ තවත් උත්සවයක් නැඟෙනහිර ඉරානයේ බිරිජාන්ද් නුවර සිදු කිරීමට නියමිත බව ද ඉරාන රජයේ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටීමට හේතුව පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණයවී නැති අතර, එය කාර්මික දෝෂයක් හේතුවෙන් සිදු වූවේ දැයි හෝ අධික මීදුම හේතුවෙන් සිදු වූයේ දැයි යන්න පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ වී ඇතැයි වාර්තා වේ. අමෙරිකාවේ නිෂ්පාදිත ‘බෙල් 212‘ වර්ගයේ එම හෙලිකොප්ටරය වසර 50කට වඩා පැරැණි වන අතර, එම හෙලිකොප්ටර් ෂා රජුගේ පාලන සමයේදී මිලදී ගත් බව කියන එම හෙලිකොප්ටර් යානා අලුත්වැඩියා කිරීමේ කටයුතු අඩාළවී ඇත්තේ ඉරානයට පනවා ඇති බටහිර සම්බාධක හේතුවෙන් බව ද වාර්තා වේ. අනික් අතට ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටර් වර්ගය නිෂ්පාදනය කර ඇත්තේ ද නියමුවන්ට ඉදිරි අහස පැහැදිලිව දර්ශනය වන තත්ත්වකදී භාවිත කිරීමට බව ද වාර්තා වේ. පසුගිය ඉරිදා (19) හෙලිකොප්ටර් යානය අසර්බයිජාන් දේශසීමාවට කිලෝ මීටර් 20ක් පමණ දුරින් කඩා වැටෙන මොහොතේදී එම පළාතේ අහස අධික මීදුමෙන් සහ අකුණුවලින් පිරී තිබූ බව ද වාර්තා වේ. ඉරාන නායකයන් එවැනි දශක ගණනාවක් පැරැණි හෙලිකොප්ටර් භාවිත කිරීම විමතිය දනවනසුලු කරුණක් බව ද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනාධිපති ඉබ්‍රාහිම් රයිසිගේ අභාවයත් සමඟ එරට අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි විසින් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළ අතර, ජූනි මස දෙවැනි බදාදා එනම් 12 වැනිදා ජාතික නිවාඩු දිනයක් ද ප්‍රකාශයට පත් කර තිබේ. එම සතිය ඇතුළත ඉරානයේ පැවැත්වීමට නියමිත ජාතික මට්ටමේ සියලු විභාග අවලංගු කර ඇති අතර, අවමංගල උත්සව පැවැත්වෙන ප්‍රාන්තවල වැඩකටයුතු අත්හිටුවීම ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් විසින් තීරණය කරනු ඇතැයි ද වාර්තා වේ. ඉබ්‍රාහිම් රයිසි සිය ළමා වියේදී ඉස්ලාම් ධර්මය ප්‍රගුණ කළ ශුද්ධ වූ කෝම් නුවර දේවස්ථානයේ කළු කොඩි ප්‍රදර්ශනය කිරීමට සහ ජාතික ධජ අඩකුඹු කිරීමට ද කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

බටහිර රටවලට පසමිතුරකු ලෙසත්, ආසියාතික රටවලට ගජමිතුරකු ලෙසත් ප්‍රකටව සිටි හිටපු ජනාධිපතිවරයාට ඉරානයේ ජනතාව අතර ද ඇත්තේ ඒ හා සමාන තත්ත්වයකි. එසේ වුවත් ඔහුගේ අවමංගල උත්සවය වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත ඉරාන ජනතාව ශෝකය පළ කරමින් සිටින අතර, ඔහුගේ ඇතැම් දේශපාලන තීන්දු තීරණ සම්බන්ධව දැඩි විරෝධය පළ කළ කණ්ඩායම් ද ඒ අතර වේ.

එසේ වුවත් අසූව දශකයේ අගභාගයේදී ඉරානයේ දේශපාලන සිරකරුවන් පන්දහසකට වඩා එල්ලා මරා දැමීමේ කනගාටුදායක සිදුවීමට සම්බන්ධව සිටි බැවින් ‘ටෙහෙරානයේ අලුගෝසුවා‘ නමින් එරට බහුතර ජනතාව විසින් හඳුන්වනු ලැබූ ඉබ්‍රාහිම් රයිසි මෑත කාලයේ නැවත දැඩි අප්‍රසාදයට ලක්වූයේ මීට වසර දෙකකට පෙර ඉරානයේ කාන්තාවන්ට හිජාබය අනිවාර්ය කිරීමට එරෙහිව සිදු කළ විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් 22 හැවිරිදි තරුණියක වූ මහ්සා අමිනි පොලිස් කූඩුව තුළ මියයෑමේ සිදුවීම හේතුවෙනි. ඇගේ මරණය මුල් කරමින් ඉරානය පුරා කාන්තාවන් සිදු කළ විරෝධතා මැඬ පැවැත්වීමට ගත් දරුණු පියවර හේතුවෙනි.

ඉරාන රජයේ ආධාරකරුවන් හිටපු ජනාධිපතිවරයාට අවසන් ගෞරවය දක්වමින් සිටියදී ඔහුගේ පාලනය යටතේ ඝාතනයට ලක්වූ පුද්ගලයන්ගේ පවුලේ ඥාතීන් රයිසිගේ මරණය සැමරීමට කටයුතු කිරීම අතිශය කනගාටුදායක පුවතකි. ඔහුගේ විරුද්ධවාදීන් ද බ්‍රිතාන්‍ය සහ කැනඩාව ඇතුළු රටවල පිහිටි ඉරාන තානාපති කාර්යාල ඉදිරිපිට එවැනි සැමරුම් සිදු කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉබ්‍රාහිම් රයිසොල්සදාති නමින් 1960 දෙසැම්බරයේ 14 වැනිදා ආගමික පවුලක උපත ලැබූ ඉබ්‍රාහිම් රයිසි අවුරුදු 15දී ඉස්ලාම් දහමේ ෂියා නිකායට අයත් පූජකවරයකු ලෙස අධ්‍යාපනය සම්පූර්ණ කළ අතර, මොටාහරි විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලැබූ බව සඳහන් වේ. 21 හැවිරිදි වියේදී ඇල්බෝස් ප්‍රාන්තයේ කරාජ් නුවර රජයේ අභිචෝදකවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹා ඇති හිටපු ජනාධිපතිවරයා ටෙහෙරාන් අගනුවර නියෝජ්‍ය අභිචෝදක ලෙස ද කටයුතු කර තිබේ. ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනිගේ අභාවයෙන් පසු ඔහුගේ පුත් අයතුල්ලා අලි කමේනිගේ සමීපතම මිත්‍රයකු බවට පත්වූ ඉබ්‍රාහිම් රයිසි ඉරානයේ නියෝජ්‍ය නීතිපතිවරයා ලෙසත්, අගවිනිසුරුවරයා ලෙසත් කටයුතු කරමින් අධ්‍යාත්මික නායකයාගේ දැඩි විශ්වාසය දිනා සිටි පුද්ගලයකු බව ද සඳහන් වේ. ආගමික නායකයකු ලෙසත්, දේශපාලන නායකයකු ලෙසත් ඉබ්‍රාහිම් රයිසි ලැබූ අත්දැකීම් මත 2017 වසරේදී එරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද එවර ඔහු හසන් රුහානි හමුවේ පරාජයට පත් විය.

2021 වසරේදී රයිසි ඉරානයේ අට වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ එවර ඉරාන ජනාධිපතිවරණය ඔහුට වාසිදායක අයුරින් පැවැත්වූ බවට මැතිවරණ නිරීක්ෂකයන් විසින් නිකුත් කරනු ලැබූ වාර්තා ප්‍රතික්ෂේප කරමිනි. ඉරානයේ සෙසු නායකයන් ලෙස ඔහු ද බටහිර විරෝධවාදියකු වන අතර, යුක්රේන යුද අර්බුදයේදී රුසියාවට ද, ගාසා යුද අර්බුදයේදී හමාස් සංවිධානයට ද ප්‍රසිද්ධියේ සහාය පළ කළ රාජ්‍ය නායකයෙකි. 1988 වසරේ ඉරානයේ දේශපාලන සිරකරුවන් පන්දහසකට වැඩි පිරිසක් ඝාතනය කිරීමේ චෝදනාවට ලක් වී සිටි රයිසි මිය යනතුරුම අමෙරිකාවේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත්ව සිටියේය. ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගෙන් පසු එම තනතුරට වඩාත්ම සුදුසු පුද්ගලයා බවට ද පත්ව සිටියේය. ඔහු තනතුරෙහි සිටියදී ජීවිතක්ෂයට පත්වූ දෙවැනි ඉරාන ජනාධිපතිවරයා වන අතර, ඊට පෙර හිටපු ජනාධිපතිවරයකු වන මොහොමඩ් අලි රාජජ් බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූයේ 1981 වසරේදීය. ටෙහෙරාන් නුවර ශහීඩ් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක වන ජමීලා අලාමොල්හොඩා සමඟ විවාහ වී සිටි ඉබ්‍රාහිම් රයිසිට දියණියන් දෙදෙනෙකි. දෙදෙනාම උපාධිධාරිනියෝ වෙති.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?