Latestදේශීය

වර්ෂාවත් සමග ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

මේ දිනවල පවත්නා වර්ෂාපතනයත් සමග ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම ඉහළ ගොස් ඇතැයිද,  (26) සිට ජුනි (01) දක්වා සතියක කාලයක් දිවයින පුරා විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ රටේ වත්මන් ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවිය ට අදහස් දක්වමිනි.

2024 වර්ෂයේ ඩෙංගු රෝගීන් 24,481ක් මේ වන විට වාර්තා වී ඇතැයිද, එයින් 10,417ක්ම ජනවාරි මාසයේ වාර්තා වුණු බවද පැවසූ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා 2023 වර්ෂයේ පැවති ඩෙංගු අධි වසංගත තත්ත්වය නිසා ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වුණු බවද අවධාරණය කළේය.

පෙබරවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා ක්‍රම ක්‍රමයෙන් ඩෙංගු රෝගීන් අඩුවීමක් දක්නට ලැබුණු බවද වර්ෂාව නිසා මේ අවසුථාවේ මැයි මාසයේ අවසන් සති 02 තුළ ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීමේ ඉහළ යාමක් සුළු වශයෙන් දක්නට ලැබෙන බවද පැවසුවේය.

අප්‍රේල් මාසයේ ඩෙංගු රෝගීන් වාර්තා වූයේ 2234ක් පමණක් බවද, මැයි මාසයේ මේ වන විට රෝගීන් 2208ක් වාර්තා වන බවද පැවසූ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඉදිරියේදී ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යාමේ ප්‍රවණතාවයක් ඇතැයිද සදහන් කළේය.

ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමේදී අවධානම් දිස්ත්‍රික්ක 15ක් හදුනාගෙන ඇතැයිද, එහි ඉදිරියේදී ඩෙංගු රෝගය වැඩි වීමට අවධානමක් පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 71ක් හදුනාගෙන ඇතැයිද, එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 71 තුළ ඩෙංගු මර්දන සතිය තුළ විශේෂ මදුරු මර්දන වැඩසටහන් සිදුවන බවද අවධාරණය කළේය.

එහිදී මදුරුවන් බෝවෙන ස්ථාන පරීක්ෂා කිරීම සදහා නිවාස, පාසල්, රජයේ කාර්යාල, පෞද්ගලික ආයතන, ඉදිකිරීම් පරිශ්‍ර, පොදු ස්ථාන, ආගමික සිද්ධස්ථාන වැනි සෑම තැනකම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ, ත්‍රිවිධ හමුදාවේ සහ ස්වෙච්ඡා සේවකයන්ගේද සහාය ඇතිව සිදුවන බවද පැවසුවේය.

ඔවුන් සියලුදෙනාම නිවාස සහ අදාල පරිශ්‍ර වලට පැමිණ පරීක්ෂා කිරීම් සිදුකරනු ඇති බවද මදුරුවන් බෝ වන ස්ථාන හදුනාගෙන ඒවා විනාශ කිරීමට මෙන්ම මදුරුවන් බෝ නොවන පරිදි තම නිවාස සහ පරිශ්‍ර පවත්වාගෙන යාමට උපදෙස් ලබාදීමක් සිදුවෙතැයිද ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් වාර්තා වූ ස්ථාන ධූමායනය කිරීමක්ද සිදුකරන බව වැඩිදුරටත් පැවසුවේය.

මෙහිදී ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකළ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා පැවසුවේ තම නිවාස අවට පමණක්ම නොව දරුවන්ගේ පාසල්, ආගමික ස්ථාන, රාජකාරී කිරීමට යන ආයතන ආදී සෑම ස්ථානයක්ම ඩෙංගු මදුරුවන් බෝ නොවන ස්ථානයක් ලෙස පවත්වාගෙන යන ලෙසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *