Latestදේශීය

විදුලි බිල පහළට

ලබන මස 01 වැනිදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය.

ගෘහස්ථ කාණ්ඩයේ පාරිභෝගිකයන්ට මෙම යෝජනා මඟින් වැඩි සහනයක් ලබාදීම සිදු වන බවත් එම යෝජනාවන්ට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ඒකක 0ත් – 30ත් අතර විදුලිය භාවිත කරන ලක්ෂ 18ක පමණ පාරිභෝගිකයන්ට ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩු කිරීමටත් ඒකක 30ත් – 60ත් භාවිත කරන ලක්ෂ 20කට අධික විදුලිය පාරිභෝගිකයන්ට ඒකකයක මිල රුපියල් 20 සිට රුපියල් 9 දක්වා අඩු කිරීමටත් ඒකක 60ත් – 90ත් භාවිත කරන ලක්ෂ 15ක් පමණ පාරිභෝගිකයන්ට ඒකකයක මිල රුපියල් 30 සිට රුපියල් 18 දක්වා අඩු කිරීමටත් ඒකක 120 දක්වා විදුලිය භාවිත කරන පාරිභෝගිකයන්ට ඒකකයක් රුපියල් 50 සිට 30 දක්වා අඩු කිරීමටත් යෝජනා කර ඇතැයි ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඒකක 120 කාණ්ඩයට අයත් පිරිස බොහොමයක් වන අතර රාජ්‍ය සේවකයන්, මාසික වැටුප් ලබන පුද්ගලයන් ඇතුළු මැදි ආදායම් ලබන පිරිස මෙම කාණ්ඩයට අයත් බවත්, විදුලිය පාරිභෝගිකයන් ලක්ෂ 68ක් සිටින අතර ඉන් ලක්ෂ 40කට වැඩි පිරිසකට විශාල සහනයක් යෝජනා කර ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.

ආගමික සිද්ධස්ථාන, කුඩා කර්මාන්ත, පාසල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන යනාදියට ද මේ හා සමානවම විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

විදුලි බිල අඩු කිරීම සඳහා වන විදුලිබල මණ්ඩලයේ යෝජනා අද හෝ හෙට මහජන උපයෝගිතා කොමිසමට යොමු කරන බවත් මණ්ඩලයේ යෝජනාවන්ට වඩා තවත් විදුලි බිල අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් සලකා බලන බවත් ඇමැතිවරයා කීය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?