Latestදේශීය

නීතිපති සේවා දිගුව – තීරණය අද

(සුජිත් හේවාජුලිගේ)

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට  සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (18) පස්වරුවේ නැවතත් සලකා බැලීමට නියමිතය.

මේ පිළිබඳව කරුණු සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන  මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස 2.00 ට රැස්වෙයි.

නීතිපතිවරයාට සේවා දීර්ඝයක් ලබාදීමට  ජනාධිපතිවරයා කළ නිර්දේශය සලකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මීට පෙර අවස්ථා දෙකකදී රැස්වුවද අවසන් තීරණයක් ගැනීමට හැකිවී නොතිබිණ.

ජනාධිපතිවරයා මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇත්තේ නීතිපතිවරයාට ලබන දෙසැම්බර් මස 31 වැනිදා තෙක් සේවා දීර්ඝයක් ලබාදීම සඳහාය.

නීතිපති රාජරත්නම් මහතාගේ සේවා කාලය ලබන 26  වැනිදායින්  අවසන් වීමට නියමිතය.

මෙම නිර්දේශය සම්බන්ධයෙන් බොහෝ දුරට අද අවසාන තීරණයක් ගැනෙනු ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ජනාධිපතිවරණය ළඟ එන අවස්ථාවක නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කිරීම  සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් පසුගියදා සිය විරෝධය ප්‍රසිද්ධියේ පළ කළහ.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *