Latestදේශීය

අපිට දැන් ණය ගන්න පුලුවන් – ඒක ලොකු ජයග්‍රහණයක්

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව ණය හිමි පාර්ශව සමඟ ගිවිසුම් අත්සන් කිරීමත් සමඟ අප රට ආර්ථික අර්බුධය අවසන්කර බංකොලොත් බවින් මිඳුණු බවට තහවුරු වූ බව  ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමි පාර්ශව එකඟකරවා ගැනීමට හැකියාව ලැබීම අප රට ලැබූ විශාලතම ජයග්‍රහණයක් බවයි.

ඒ අනුව දැන් අපිට නැවතත් අවශ්‍යතාවය අනුව ජාත්‍යන්තරයෙන් ණය ලබාගන්න හැකියාව ලැබෙන බව කී අමාත්‍යවරයා ඒ අනුව මෙතෙක්  අතරමඟ නතරව තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට මෙන්ම අලුතින් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන්නත් අවස්ථාව ලැබෙන බව ද සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් ‍කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ උඩුගම්පළ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.

ජනාධිපතිවරණය ගැන ඉව වැටුණ මොහොතේ සිටම විපක්ෂය වැඩ වර්ජන රැල්ලක් මෙහෙයවනවා. ආණ්ඩු බලය ගන්න කලින් ඉඳලම මහජනතාව ප්‍රාණ ඇපයට අරගෙන වැඩ වර්ජන කරන පිරිසකට ආණ්ඩු බලය ලැබුනොත් මොනව කරයිද කියල හිතාගන්න බැහැ. ඒ වගේ පිරිසකගෙන් මහජනතාවට කවදාවත් සුබදායී අනාගතයක් බළාපොරොත්තු වෙන්න බැහැ. මේ මොහොතේ වැටුප් වැඩිකිරීමක් කරන්න බැහැ. ඒකට 2024 අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වෙලා නැහැ. නමුත් ලබන වසරේ සිට වැටුප් වැඩිකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපතිතුමා වෘත්තීය සමිතිවලට දැනුම් දුන්නා. අපි රජයක් විදියට එහෙම කියද්දිත් ඔවුන් මස් රාත්තලම ඉල්ලනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව ණය හිමි පාර්ශව සමඟ ගිවිසුම් අත්සන් කළා. එය රටක් වශයෙන් අපි ලැබූ විශාල ජයග්‍රහණයක්. අපි මුහුණ දී සිටින ආර්ථික අර්බුධය අවසන්කර බංකොලොත් භාවයෙන් මිදෙන බව මේ ගිවිසුම මඟින් තහවුරු වුණා. මේ ගිවිසුම්ගතවීමත් සමඟ දැන් අපිට විදේශ ණය ගෙවීමට හැකියාව ඇති රටක් බව ණය හිමි පාර්ශවයන් පිළිගන්නවා. රට බංකොලොත් බව ප්‍රකාශ කිරිමෙන් පසුව නැවතත් රටේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් රජය ක්‍රියාමාර්ග විශාල ප්‍රමාණයක් ගත්තා. අප රට ලැබූ විශාලතම ජයග්‍රහණය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමි පාර්ශව එකඟකරවා ගැනීමට හැකියාව ලැබීමයි. ඒ සඳහා අපිට වසර දෙකක් සාකච්ඡා කරන්න සිදුවුණා.

කොවිඩ් වසංගත තත්ත්වය හා අරගලය නිසා අපේ ආර්ථිකය කඩාගෙන වැටුණා. රටේ සංවර්ධන ව්‍යාපෘති එහෙම පිටින් නතර වුණා.  ඒ නිසා අපි පසුගිය සමයේ ඉතාම දුෂ්කර කාලසීමාවකට මුහුණ දුන්නා. ජනතාවත් ඉතාම සංයමයෙන් ඒ දුෂ්කරතාවයන් ඉවසා ගත්තා. ඒ නිසා මේ වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 5ක් ඉක්මවා විදේශ විනිමය සංචිත රැස්කර ගැනීමට රජයට හැකියාව ලැබුණා. දැන් අපිට නැවතත් අවශ්‍යතාවය අනුව ජාත්‍යන්තරයෙන් ණය ලබාගන්න හැකියාව ලැබෙනවා. ඒ අනුව මෙතෙක්  නැවතිලා තිබුණු සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කරන්න වගේම අලුතින් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන්නත් අවස්ථාව ලැබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් කරගෙන යන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල නිසා රටටත් ජනතාවටත් වේගයෙන් ලැබෙන මේ ජයග්‍රහණයන් විපක්ෂයට දරාගන්න බැරිවුණා. ස.ජ.බ හා මාලිමාව හැමදාම මේ රටේ දේශපාලනය කළේ කුහකකම හා ඊර්ෂ්‍යාව පදනම්කර ගෙනයි. මේ ඉතාම දුෂ්කර මොහොතේදී ඔවුන් වැඩ වර්ජන කරලා රටේ සමස්ථ පුරවැසියන්ම දැඩි පීඩාවකට පත්කරනවා. මේ වැඩ වර්ජන මාෆියාව නිසා රටේ ඉදිරි ගමන ආපස්සට හැරෙන්න දෙන්න බැහැ.

හන්දිගානේ රැස්වීම් තිය තියා ජනතාවට බොරු බේගල් අත්හරින විපක්ෂයට කවදාවත් ආර්ථික විසඳුමක් තිබුනේ නැහැ. ඒ බැරියාව නිසා තමයි අපි ඉල්ලීමක් කරලත් රට භාර ගන්න විපක්ෂය ඉදිරිපත් වුනේ නැත්තේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ ආර්ථික අර්බුධය විසඳන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගන්න තීරණය කළ මොහොතේ සිටම විපක්ෂය ප්‍රචණ්ඩත්වය වපුරමින් වැඩ වර්ජන දියත් කිරීම සිදු කරනවා. මේ සෙල්ලම දැන්වත් නවත්වන්න ඕන. මේ විපක්ෂය ඇත්තටම රටට සාපයක්. රටට සාපයක් වුණ මේ විපක්ෂය ගැන ඉදිරි මැතිවරණවලදී ජනතාව නිවරදි තීන්දුවක් ගනීවි යැයිද කීය.

@මාධ්‍ය ඒකකය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?