සීතල යුද සමයෙන් පසු හුවමාරු වූ මිනිස් ජීවිත
අමෙරිකාව සහ රුසියාව ඇතුළු රටවල් කිහිපයක් අතර වසරකට වැඩි කාලයක් පුරා සිදුවූ සිරකරුවන් හුවමාරු කරගැනීමේ සාකච්ඡා පෙරේදා සාර්ථික වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව රුසියාවේ සිර දඬුවම් විඳිමින් සිටි අමෙරිකානු සිරකරුවන් තිදෙනකු ඇතුළු තවත් රටවල් කිහිපයකට අයත් සිරකරුවන් 16 දෙනකු ද, අමෙරිකාව ඇතුළු තවත් රටවල් කිහිපයක සිටි රුසියානු සිරකරුවන් දසදෙනකු ද හුවමාරු කරගත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඒ අනුව අමෙරිකාව, ජර්මනිය, පෝලන්තය, ස්ලෝවේනියාව, නෝර්වේ සහ රුසියාව රටවල සිරගතවී සිටි සිරකරුවන් 26 දෙනකු එම හුවමාරුවට ඇතුළත් වී ඇති අතර, එය සිදුවී ඇත්තේ තුර්කියේ අන්කාරා නුවරදී බව ද වාර්තා වේ.
මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ ඇන්ඩෘස් ගුවන්තොටුපොළට සේන්දු වූ අමෙරිකානු සිරකරුවන් තිදෙනා පිළිගැනීම සඳහා ජනාධීපති ජෝ බයිඩ්න් හා උප ජනාධීපති කමලා හැරිස් ද පැමිණ සිටි බව වැඩිදුරටත් වාර්තා වේ. එම සිරකරුවන් අතර වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තාකරුවකු, මාධ්‍යවේදිනියක සහ අමෙරිකානු මැරීන් හමුදා සෙබළකු ද සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
මේ අතර රුසියානු සිරකරුවන් රැගත් ගුවන් යානය මොස්කව් නුවර ගුවන්තොටුපොළට සේන්දු වූ බවත්, එහිදී රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ඔවුන් පිළිගැනීමට ගුවන්තොටුපොළට පැමිණ සිටි බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
@දිනමිණ