ජල ගාස්තුව 7%කින් පහළට
ගෘහස්ථ ජල පාරිභෝගිකයන්ගේ ජල ගාස්තු සියයට 07කින් පහළ දැමීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.
ඒ සමඟම රජයේ රෝහල්වල ජල ගාස්තු සියයට 4.5කින් හා පන්සල් සහ ආගමික ස්ථානවල ජල ගාස්තු සියයට 6.3 කින්ද පහළ දැමීම සඳහා වන සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
ජල ගාස්තු පහළ දැමීම සඳහා සංශෝධනයට අදාළ මෙම ගැසට් පත්‍රය ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමාන් මහතා නිකුත් කර තිබෙන අතර, අගෝස්තු මස 21 වැනි දා සිට මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය, රජයේ පාසල්, රජයේ උපකෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යන අංශ මෙම නව ජල ගාස්තු සංශෝධනයට අයත් වේ.
ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 – 05 දක්වා ගාස්තුව ඒකකයක් රුපියල් 60 – 50 දක්වා රුපියල් 10කින් අඩු කර ඇති අතර, ඒකක 76 – 100ත් අතර ඒකකයක් සඳහා අය කරන ගාස්තුව රුපියල් 270 සිට 250 දක්වා රුපියල් 20කින් පහත දමා ඇත.
රජයේ සහ රජයේ උපකෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යටතේ සියලු ඒකකයක් සඳහා අය කළ රුපියල් 60ක ගාස්තුව රුපියල් 5කින් පහත දමා ඇති අතර, එහි නව ගාස්තුව රුපියල් 55කි. එමෙන්ම ඒකකයක් රුපියල් 100ක්ව පැවති රජයේ රෝහල් සඳහා භාවිත වන ජල ඒකකයක් රුපියල් 95ක් දක්වා රුපියල් 05කින් අඩු කිරීමද නව සංශෝධන යටතේ සිදු කර කර තිබේ.
එසේ වුවද මෙම ජල ගාස්තු සංශෝධනය යටතේ මාසික සේවා ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර ඇත. සමස්තයක් ලෙස සියයට 5.94කින් ජල ගාස්තු අඩු කිරීමට කැබිනට් අනුමැතියද හිමි වී තිබුණි.
@දිනමිණ