Latestදේශීය

59 වන රාජ්‍ය ඔසුසල මහාචාර්ය සේනක බිබිලේ ජීවත් වූ ගම්පියසට

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) බිබිල නව රාජ්‍ය ඔසුසල ඊයේ දින (31) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.

දිවංගත මහාචාර්ය සේනක බිබිලේ මහතා හැඩුන වැඩුන ගම් පියස වන බිබිල නගරයේ 59 වන රාජ්‍ය ඔසුසල් ශාඛාව විවෘත කිරීමට පියවර ගනු ලැබුවේ එතුමන්හට කරනු ලබන ගෞරවනීය උපහාරයක් වශයෙනි. 1971 වර්ෂයේදී රාජ්‍ය ඖෂධ සංස්ථාව ස්ථාපිත කළ අතර එහි ආරම්භක සභාපති ලෙස කටයුතු කරණු ලැබුවේ මහාචාර්ය සේනක බිබිලේ මහතාය. ඖෂධීය නාමයෙන් ගුණාත්මක ඖෂධ දැරියහැකි මිලකට ශ්‍රී ලාංකික ජනතාවට දායාද කිරීමේ ඖෂධ ප්‍රතිපත්තිය මෙරටට හදුන්වා දෙමින් රාජ්‍ය ඔසුසල් සංකල්පය ලෝකයට හදුන්වාදීම සිදුකරණු ලැබුවේද බිබ්ලේ මහතාය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රාජ්‍ය ඔසුසල ජාලයේ 59 වන රාජ්‍ය ඔසුසල ලෙස මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ මූලික රෝහල ඉදිරිපිට ස්ථාපිත කළ මෙම රාජ්‍ය ඔසුසල මගින් පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, රාජ්‍ය මුද්‍රාව සහිත නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ අඩු මිලකට මිලදී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන අතර, ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන් සහ වයස අවුරුදු 05 ට අඩු දරුවන් සදහා 5% ක සුවිශේෂි වට්ටමක් සහිතව ඖෂධ නිකුත් කිරීම ද විශේෂත්වයකි.
ඔසුසල විවෘත කිරීමට ප්‍රථම බිබිල මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ මූලික රෝහල ඉදිරිපිට ඉදිකර ඇති මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර පුද කිරීමටද ලේකම්වරයා ඇතුලු පිරිස කටයුතු කලේය.

ඔසුසල විවෘත කිරීමෙන් අනතුරුව එහි මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඡායාරූපයක් නිරාවරණය කල ලේකම්වරයා පළමු ඖෂධ ගණුදෙණුවද සිදුකලේය. රාජ්‍ය ඖෂධ සංස්ථාව පසුගිය වසර 53 කාලය තුළ මෙරට දීප ව්‍යාප්ත ඔසුසල් ජාලයක් පිහිටුවීමට පියවර ගෙන ඇත.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටි‍යේ ….

“මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමා විශාල වෙනසක් ඇතිකරමින් ඖෂධ ප්‍රතිපත්තියක් ගෙනාවා. ඒ ඖෂධ ප්‍රතිපත්තිය ලෝක ‍සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා අද ජාත්‍යන්තරව පිළිඅරගෙන රටවල් 80 කට වඩා ක්‍රියාත්මක කරනවා. ඒනිසා එතුමන්ට ලෝක සෙඛ්‍ය සංවිධානයෙන් 1980 වර්ෂයේදී විශාළ ප්‍රණාමයක්ද සිදුකලා.”

“එතුමන් ඉපදුනු ‍මේ ප්‍රදේශය, හැදී වැඩුණු ප්‍රදේශය ඒනිස‍ා සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණයක් අරගෙන මේ රෝහලත් මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහල ලෙස ස්ථාපිත කර ති‍බෙනවා. ඒක විශාල ගෞරවයක්, කෘතවේදී බව දක්වන්න ගත් පියවරක්.”

“මීට මාස 3 කට විතර පෙර මේ ස්ථානයට ආවහම අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කලා, අප සියලු දෙනාගේම ගුරුතුමා නිසා අපි හිතුවා, පුලුවත් තරම් ඉක්මනින් ඔසු සලක් පටන් ගන්න ඕන කියලා, ඒ අනූව තමයි අද මේ ඔසුසල විවෘත වෙන්නේ. ඒ වෙනුවෙන් කැපවී කටයුතු කල රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා ප්‍රමුඛ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා.”

“එතුමන් ජීවත්වුනු වළව්ව බලන්නත් අපි එදා ගියා. දැන් සති කිහිපයට පෙර මෙහෙ ප්‍රාදේශීය ලේකම්තුමා , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත්, ඉඩම් කොමසාරිස් කාර්යාලයත් අදාළ සියලු දෙනා ගෙන්නලා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සාකච්චාවක් පැවැත්වූවා. අපේ බලාපොරෝත්තුව ඒ නිවස අරගෙන නවීකරණය කරලා එතුමා වෙනුවෙන් කෞතුකාගාරයක් ඉතාම ඉක්මනින් ස්ථාපිත කරන්න. මේ මොනවා කරත් මදි එතුමන් කල සේවාවට. එතුමන් ජාතික වීරයෙක්.මෙරටට පමනක් නොව ජාත්‍යන්තරයටත් විශාළ සේවාවක් සිදු කල කෙනෙක්. එතුමන්ගේ අකල් මරණය විශාළ පාඩුවක්.” බවය.

මෙම අවස්ථාවන් සදහා මොනරාගල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සුසන්ත පුනාන්දු, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් මෙන්ඩිස්, කළමණාකාර අධ්‍යක්ෂ මෙවන් සම්පත් සුබසිංහආරච්චි, සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක, බිබිල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය ඩී.එම්.එස්. බණ්ඩාර, යන මහත්වරුන් මෙන්ම රාජ්‍ය ඖෂධ සංස්ථා‌ව් නිලධාරීන්, ව්‍යාපාරිකයින්, බුත්තල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී, වෛද්‍යවරුන්, ‍හෙද හෙදියන් ඇතුලු ප්‍රදේශවාසි ජනතාවද එක්වූහ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *