රොනාල්ඩෝ ගෝල 900යි
පාපන්දු තරග බිමේ ගෝල 900ක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වීමට සුපිරි පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වෙයි.
යුරෝපා නේෂන්ස් කුසලාන පාපන්දු තරගාවලියේදී ක්‍රොඒෂියාවට එරෙහිව පැවති තරගයේදී රොනාල්ඩෝ මේ ඉතිහාසගත ගෝලය වාර්තා කළ අතර, එම තරගයෙන් පෘතුගාලයට ගෝල් 2-1ක ජයක් අත්විය. 39 හැවිරිදි රොනාල්ඩෝට මේ ගෝල් 900 වාර්තා කිරීමට වසර 22ක කාලයක් ගතවු අතර, ඔහු ක්‍රීඩා කර ඇති තරග සංඛ්‍යාව 1230කි. 2002 වසරේ ඔක්තෝබර් 7 වැනිදා ඔහු පාපන්දු පිටියේ සිය පළමු ගෝලය වාර්තා කර තිබිණි.
පෘතුගාල ජාතික කණ්ඩායම වෙනුවෙන් ගෝල් 131ක් වාර්තා කර ඇති රොනාල්ඩෝ වැඩිම ගෝල් සංඛ්‍යාවක් වාර්තා කර ඇත්තේ ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙනි. ඔහු එහිදී තරග 438කට ක්‍රීඩා කරමින් ගෝල් 450ක් වාර්තා කර තිබේ.
අල් නාසර් පිල වෙනුවෙන් ගෝල 68ක්, ජුවෙන්ටස් පිල වෙනුවෙන් ගෝල 101ක්, මැන්චෙස්ටර් යුනයිටඩ් පිල වෙනුවෙන් ගෝල් 145ක් සහ පෘතුගාලයේ ස්පොටිං ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝල 5ක් රොනාල්ඩෝගේ ගෝල 900ට ඇතුළත්ව තිබේ.
පාපන්දු පිටියේ දෙවැනි වැඩිම ගෝල් ලාභියා ලෙස රොනාල්ඩෝට පසුපසින් සිටින්නේ ආජන්ටිනාවේ ලයනල් මෙසීය. ඔහු මේ වන විට තරග 1091කදී ගෝල් 838ක් රැස් කර තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

