Latestදේශීය

සියලු පත්කිරීම් වලට අපි වග කියනවා – හරිනි අමරසූරිය

ජාතික ජන බලවේග රජය සිදු කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහනුවර දී ඊයේ(28) පැවසුවාය.

තම රජය යටතේ රාජ්‍ය නිලධාරීන් චෝදනා වලට ලක් වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට නොපැකිලෙන බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මහනුවර දී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මහ මැතිවරණය සඳහා ඔබලාගේ සූදානම කොහොමද?
මහ මැතිවරණය සඳහා අප හොඳින් සූදානම් විය යුතුයි. ජනාධිපතිවරණයේදී අපට ලබා දුන් ජයග්‍රහණය තවත් විශිෂ්ට ලෙස ලබාදී රට හදන්න හැකි කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තෝරා එවනු ඇතැයි අප විශ්වාස කරනවා.
ප්‍රශ්නය:-
තුන් දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයට රටේ වගකීම ඉටු කරගන්න හැකිවේද?
පිළිතුර:-
අප මෙය බාර ගත්තේ ඒ කැපකිරීම කරන්න සූදානමින්. අප මේ කාලයේදී ඒ වගකීම බාර ගත්තා.
ප්‍රශ්නය:-
රජයේ ඉහළ තනතුරු සඳහා චෝදනා ලත් නිලධාරීන් පත් කර තිබෙන බවට යම් චෝදනාවක් නැගෙනවා.
පිළිතුර:-
අපේ පාලනය යටතේ යමෙකු චෝදනාවලට ලක් වුණොත් ඒ සම්බන්ධව ක්‍රියා කරන්න පැකිලෙන්නේ නැහැ. අප දැනටත් සාධනීය වෙනස්කම් සිදුකරමින් සිටිනවා. ඉදිරියටත් එවැනි වෙනස්කම් කරනවා.

ප්‍රශ්නය:-
අධ්‍යාපනය විධිමත් අයුරින් ක්‍රියාත්මක නොවන බවට සමාජයේ මතයක් තිබෙනවා. එය විධිමත් කරන්නට වැඩපිළිවෙළක් තිබෙනවාද?
පිළිතුර:-
මට ජාතික පාසල්වල විදුහල්පතිවරුන් මුණ ගැසෙන්නට අවස්ථාවක් ලැබුණා. ජාතික ජන බලවේග ආණ්ඩුවට අධ්‍යාපනය යනු ප්‍රමුඛ කාර්යභාරයක්. අද අධ්‍යාපනය සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය හොඳටම බිඳ වැටිලා. අපගේ ප්‍රමුඛතම කාර්යය වන්නේ ඒ බිඳවැටුණු විශ්වාසය නැවත ගොඩනැගීමයි. දරුවන්ට සතුටින් පාසල වෙත යාමට පසුබිම සැකසිය යුතුයි. මාපියන්ටත් අධ්‍යාපනයේ බරක් නොවිය යුතුයි . ගුරුවරුන්ටත් තම වෘත්තිය සතුටින් කරගෙන යාමට පසුබිම සැලසිය යුතුයි.” යනුවෙන් අගමැතිවරිය පැවසීය.

පැවරුණු වගකීම ජනතාව බලාපොරොත්තු වූ ආකාරයට හොඳින් ක්‍රියාත්මක කළ යුතුයි – ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමියෝ

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමියෝ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවේ පසුගිය දා ( 28) පැවසූහ.
පැවතුණ රාජ්‍ය තන්ත්‍රවල දොස් සෙවීමට වඩා පැවරුණු වගකීම ජනතාව බලාපොරොත්තු වූ ආකාරයට හොඳින් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන්නේ යැයිද අනුනාහිමියෝ කීහ.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අද මහනුවරට පැමිණ ශ්‍රී දළදා වහන්සේ වන්දනා කිරීමෙන් අනතුරුව අස්ගිරි මල්වතු මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
එහිදී අනුශාසනාවක් කළ ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නාහිමියෝ මෙසේද පැවසූහ.
ජනපති ඔබ ඇතුළු කණ්ඩායමට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අනුව මහජන ඡන්ද බලයෙන් ලංකාවේ වගකීම පැවරී තිබෙනවා. මේ රට සංස්කෘතික හා ජාතික අනන්‍යතා වලින් යුක්ත රටක්. එමෙන්ම අතීත හර පද්ධතියන්ගෙන් යුක්ත රටක්.
පුරවැසියන්ගේ ආර්ථිකය වර්ධනය කිරීමට මෙන්ම දේශයට ප්‍රිය කරන ජනතාවක් බිහි කරන්න ඔබ ඇතුළු රජයට යුතුකමක් පැවරී තිබෙනවා.
ඔබ දැන උගත් ශ්‍රේෂ්ඨ කාන්තාවක්. දැන උගත් අයට නිලතල ලබාදීම ජනපති දැන් ආරම්භ කර තිබෙන බව පෙනෙනවා.
පැවතුන රාජ්‍ය තන්ත්‍රවල දොස් සෙවීමට වඩා පැවරුණු වගකීම ජනතාව බලාපොරොත්තු වූ ආකාරයට හොඳින් ක්‍රියාත්මක කළ යුතුයි. මේ රටේ හර පද්ධතිය සමග ඒකාබද්ධව කටයුතු කරමින් රට සමෘද්ධිමත් කළ යුතුව තිබෙනවා.
අතීතයේදී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය මෙන්ම ධර්මද්වීපය ලෙස හැඳින්වූවා. එලෙස හඳුන්වන ලද්දේ අතීතයේ මෙරට තිබූ ආර්ථික සමෘද්ධිය නිසයි. එමෙන්ම ලංකාවේ යනු රත්න දීපයක්.
ඒ වගේම ලංකාව දුෂ්කරතා මෙන්ම බිද වැටීම් වලට ලක්වූ රටක්.
අනාගත පරපුරට නිදහස්ව නිවහල්ව සිටිය හැකි දේශයක් ගොඩනගන ලෙස අප ඉල්ලා සිටිනවා.
ඔබතුමිය ඉතා භාග්‍යවන්තයි. සියලු ආගමික ජාතික සංස්කෘතික සබඳතා රැකගෙන කටයුතු කරන ලෙස අප ඉල්ලා සිටිනවා.
පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග්‍රහණය ලබා රට ගොඩනගන්න ජනපති ඇතුළු ඔබට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා .” යනුවෙන් සඳහන් කළහ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *