Latestමතවාදවිදේශීය

මැදපෙරදිග තුවක්කු නිහඬ වන්නේ කවදා ද?

(රන්ජන් අමරරත්න)

ලෙබනනයේ බේරුට්, අගනුවර උතුරු අර්ධය පවතින්නේ සුන්බුන් ගොඩක් හැටියටය. එහි පැවති මනරම් ගොඩනැඟිලි බිමට සමතලා වී ඇත. ඒ සුන්බුන් අතරින් පරෙස්සමට ගමන් කරනු ලබන්නේ යුද්ධ ටැංකිය. ඉදිරියට වෙඩි තබමින් යුද ටැංකි ගමන් කරන අතර ගුවන් තලය දෙදරවමින් නවීන ප්‍රහාරක යානා පියාසර කරයි. ලෙබනනය, ඊශ්‍රායල් – අරාබි යුද්ධයේ අලුත්ම ගොදුරු බිම වී තිබේ.

හෝටල්, කඩ – සාප්පු වසා ඇත. ලෙබනනය යනු සංචාරකයන්ට තහනම් ප්‍රදේශයකි. නිරන්තරයෙන් බෝම්බ පිපිරී යන අතර බිම් පොළොව මත විශාල ආවාට පවතියි. සියලු ගනුදෙනු නැවතී ඇත. ලෙබනනය යථා තත්ත්වයට පත්වන්නට නම් යුද්ධය පැවතිය යුතුය. පසුගිය බදාදා දාහියා ප්‍ර‍ෙද්ශයට එල්ල වූ ප්‍රහාරයකින් විශාල පිරිසක් මියගියහ. එම ප්‍රහාරය ගැන එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජගත් මහලේකම්වරයා කියා ඇත. ඊශ්‍රායලය යුද අපරාධ සිදු කරන්නේ යැයි එක්සත් ජාතීන්ගේ සංගමය චෝදනා එල්ල කරන්නේ වුව පහරදීම් නවතින්නේ නැත. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටින්නේ සතුරා මුළුමනින්ම පරාජය කරන තෙක් මෙහෙයුම් ඉදිරියට යනු ඇත යන්නය. ඒ අනුව ලෙබනනයට ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර එල්ල වෙයි.

ගාසා තීරය මෙන්ම බටහිර ඉවුර ද මිහිපිට අපායක් යැයි සමහරු සුසුම් හෙළති. ආහාර නැත.. ජලය නැත. විදුලිය නැත. ඒ හැරෙන්නට රෝහල්වල හා අනාථ කඳවුරුවලට ද ප්‍රහාර එල්ල වෙයි. ඊශ්‍රායල් ආරක්ෂක ඇමැති නිවේදන නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ත්‍රස්ත කණ්ඩායම් සිවිල් ජනයා පළිහක් ලෙස ගෙන ඔවුන් අතර සිය මධ්‍යස්ථාන පවත්වාගෙන යන බවය. ආධාර කණ්ඩායම්වල ආහාර සැපයීමට බාධා එල්ල වී ඇති අතර සාගින්න ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි. ආහාර නැතිව කුසගින්නේ මියයන පිරිස ගැන බලන්නට කිසිවකු නැත. කුඩා දරුවෝ ඇඟිලි උරමින් අහස දෙස බලා සිටිති. අම්මලා කිරි නැති. දරුවන් ඇකයේ තබාගෙන සනසන්නට වෑයම් කරති. හැම පැත්තකින්ම ඇසෙන්නේ අඳෝනා හා ලතෝනිය.

මැද පෙරදිග යුද්ධය ලෝකයේ අනෙකුත් රටවලට ද බලපෑම් කරන සංකීර්ණ ගෝලීය ගැටලුවක් බවට පත්වී ඇත. මෙහි කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් දැකගත හැකිය.

(I) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලය හා ශක්තිය බිඳී ඇත. ගැටුම් වැළැක්වීම සඳහා එම සංවිධානයට කළ හැකි දෙයක් නැත.

(II) බලශක්ති අර්බුදයක් නිර්මාණය වෙමින් පවතියි. ඒ සමඟම ආහාර අර්බුදයක් ද මතුවිය හැකිය.

(III) යුද්ධයට තවත් රටවල් ඍජු ලෙසින් සම්බන්ධ වන බව පෙනෙයි. එහි අනතුර දිනෙන් දින උග්‍ර වෙයි.

යුද ගැටුම් නැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංගමය ගනු ලැබූ සියලු ප්‍රයත්න අසාර්ථක විය. එම සංගමයෙන් තවදුරටත් කිසිවක් අපේක්ෂා කළ නොහැකි බවට චෝදනා එල්ල වෙයි. ජගත් මහලේකම්වරයා අන්ත අසරණ තත්ත්වයකට පත්වී සිටියි. අමෙරිකාව හෝ ඊශ්‍රායලය හෝ අරාබි රටවල් හෝ ඔහු තඹදොයිතුවකට මායිම් කරන්නේ නැත. සෑම අතකින්ම දැකගත හැක්කේ හිතුවක්කාරී ක්‍රියාවන්ය. ඊශ්‍රායලය, අමෙරිකාව පවා නොසලකා හරින අවස්ථා තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ අලුත්ම පියවර වන්නේ ඊශ්‍රායල් අගමැතිවරයාට අවවාද කිරීම හා ඔහුගෙන් පොරොන්දු ලබා ගැනීම යැයි කිව හැකිය. බයිඩන් ජනාධිපතිවරයා නෙතන්යාහු වෙත ලිපියක් යවමින් පෙන්වා දෙන්නේ ගාසා තීරයට මානුෂීයවාදී ආධාර ලබාදීමට ඉඩප්‍රස්තා ලබා දිය යුතු බවය. ඉදිරි දින තිහ ඇතුළත එය සිදුවිය යුතු බව දන්වන අමෙරිකාව එසේ නොවුණහොත් ඊශ්‍රායලයට ලබා දෙන ආධාර කපා හරින බවට තර්ජනයක් ද කරයි. ඊට ඊශ්‍රායලය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. ඊශ්‍රායලය සිය යුද්ධය පවත්වාගෙන යන්නේ අමෙරිකන් ආධාර මතය. එම ආධාර නොවන්නට ඊශ්‍රායලයට යුද්ධය නඩත්තු කළ නොහැකිය. මේ වසර සඳහා ඊශ්‍රායලයට ලබා දීමට නියමිත ආධාරවල වටිනාකම අ. ඩො. බිලියන දහසයක් බව සඳහන්ය. අමෙරිකාව ඊශ්‍රායලයට අවි – ආයුධ මෙන්ම මූල්‍ය ආධාර ද, දේශපාලන සහයෝගය ද ලබාදෙන බව ප්‍රසිද්ධ කාරණයකි. ඇතැමුන්ගේ මතයට අනුව යුද්ධය නතර කළ හැක්කේ අමෙරිකාවට පමණි. එහෙත් අමෙරිකාව සිදු කරන්නේ ඊශ්‍රායලය තවදුරටත් යුද්ධය කෙරෙහිම නැඹුරු කිරීමකි. මිසයිල හා රොකට් ප්‍රහාර ගුවනේදීම විනාශ කළ හැකි නවීන ආරක්ෂණ පද්ධතියක් ඊශ්‍රායලයට ලබා දුන් බයිඩන් ජනාධිපතිවරයා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ හමුදා ඛණ්ඩයක් ද ඊශ්‍රායලය වෙත යවා ඇත.

එක්සත් ජාතීන්ගේ සාකච්ඡා, අරාබි රටවල සාකච්ඡා සියල්ල බිඳ වැටී ඇත. ඊශ්‍රායල් අගමැතිවරයා මෙන්ම පලස්තීනයට සහයෝගය දක්වන සන්නද්ධ කණ්ඩායම් ද එකට – එක කරමින් සාම සාකච්ඡා මඟහරිති. සටන් විරාම මඟහරිති. යුද්ධයේ නිමාවක් පෙනෙන තෙක් මානයක නැත.

ඉරානය ගැටුමට ඍජු ලෙසින් සම්බන්ධ වීම නිසා තත්ත්වය වඩාත් බරපතළ වී ඇත. ඊශ්‍රායලය පසුවන්නේ හතර වටේටම පහර දෙන ප්‍රතිපත්තියකය. ඉරානයට, ලෙබනනයට, ගාසා තීරයට, බටහිර ඉවුරට සටන ව්‍යාප්ත වී ඇත. ලෙබනනය ආර්ථික වශයෙන් බරපතළ අර්බුදයක හිර වී සිටිත් දී ප්‍රහාරයට මුහුණදෙයි. ඉරානය ආර්ථික සම්බාධකවලට මුහුණ දෙමින් සිටියදී ඊශ්‍රායල් ප්‍රහාරවලටත් මුහුණදෙයි. ඉරානය යම් හෙයකින් න්‍යෂ්ටික අවි භාවිත කිරීමට තීරණය කළහොත් සිදු වන්නේ සිතන්නට බැරි තරම් විනාශයකි. මැදපෙරදිග ගැටුම සමඟ ලෝක අවධානය යොමුවන විශේෂ කරුණු තුනක් ඇත.

(I) තෙවන ලෝක යුද්ධයක්

(II) න්‍යෂ්ටික යුද්ධයක්

(III) බලශක්ති අර්බුදයක්

තෙවන ලෝක යුද්ධයක භීතිකාව මේ වනවිටත් පැතිර යමින් තිබේ. අරාබි රටවල්, රුසියාව, උතුරු කොරියාව, චීනය එක පාර්ශ්වයක් නියෝජනය කරමින් පෙළගැසීමට යන බවක් පෙනෙයි. අමෙරිකාව, ඊශ්‍රායලය, යුරෝපා සංගමය, නේටෝ සංවිධානය අනෙක් පාර්ශ්වය නියෝජනය කරමින් පෙළගැසෙන බව ද දැකගත හැකිය. ගොඩනැඟෙමින් පවතින තත්ත්වය අතිශය භයානකය.

අගමැති නෙතන්යාහුගේ පළමු පියවර වූයේ හමාස් සංවිධානය යටතේ සිටින ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමය. දෙවන පියවර වූයේ හමාස් සංවිධානය දුර්වල කිරීමය. තෙවන පියවර වූයේ ‘හිස්බුල්ලා’ කණ්ඩායම දුර්වල කිරීමය. යුද්ධය ආරම්භ වී වසරකුත් දින ගණනක් ගතවී ඇතත්, ඉහත සඳහන් එක ඉලක්කයක්වත් ජයගැනීමට නෙතන්යාහු සමත්වී නැත. ප්‍රාණ ඇපකරුවන් එකිනෙකා මරා දමන බව දැකගත හැකිය. කිසිදු සන්නද්ධ කණ්ඩායමක් දුර්වල වී ඇත්තේ ද නැත.

මේ වනවිට ලෝක අවධානය දැඩි ලෙසින් යොමුවන යුද්ධය පසුබිම් කිහිපයක් කෙරෙහි නිරීක්ෂණ ඇස යොමු කිරීම වටියි.

(I) මැද පෙරදිග ගල්ෆ් කලාපය

(II) රුසියානු – යුක්රේන යුද්ධය

(III) චීන – තායිවාන් ගැටුම

(IV) සුඩානය, නයිජීරියාව ඇතුළු අප්‍රිකානු රටවල් කිහිපයක ගැටුම්

(V) උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර නොසන්සුන්තා

ඉහත සංවේදී කලාපයන් පිළිබඳ සාකච්ඡා පවත්වා තත්ත්වය සටහන් කළ හැකි ජගත් සංවිධානයක් නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට තවදුරටත් එබඳු හැකියාවක් නැති බව මැදපෙරදිග ගැටුම දෙස බලනවිට පෙනී යයි. මේ අනුව ශක්තිමත් ජගත් සංවිධානයක් නැති කිරීම කෙරෙහි ලෝක අවධානය යොමුවිය යුතුව තිබේ.

මැද පෙරදිග ගැටුමේ න්‍යෂ්ටිය වන්නේ පලස්තීනයයි. පලස්තීනය යනු අනාථ කඳවුරකි. 1948 අරාබි සානුව තුළ ඊශ්‍රායලය පිහිටුවන්නේ පලස්තීන භූමිය උදුරා ගනිමින්ය. එදා සිට අද දක්වාම පලස්තීන ජාතිකයෝ තම උපන්බිම ඉල්ලා සිටිති. ඒ වෙනුවෙන් සටන් කරති. එහෙත් විසඳුමක් නැත. ලෝකයේ පවතින දීර්ඝතම දේශපාලන අවුල මේ යැයි සිතිය හැකිය. මේ අවුල ඇතිවන්නේ ද එක්සත් ජාතීන්ගේ අනුමැතිය යටතේ ඊශ්‍රායලය බිහිවීමත් සමඟය. පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගෙන ඔවුන්ගේ භූමිය වෙන් කර දිය යුතු යැයි සාධාරණ ඉල්ලීමක් තිබුණ ද එය ඉටු කිරීමට ජගත් සංවිධාන සමත් වූයේ නැත. ඉදිරියට එවැන්නක් සිදුවේ යැයි අපේක්ෂා කිරීමේ ශක්‍යතාවක් ද නැත. පලස්තීනුවන්, මනුෂ්‍යයන් ලෙස සලකා කටයුතු කරන පරිසරයක් නිර්මාණය වනතුරු මේ ගැටුම නැවැත්විය නොහැකිය.

ලෝක බැංකුව නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වන අන්දමට ලෝකයේ දිළිඳුකම ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙයි. ලෝකයේ සමස්ත ජනගහනය බිලියන 800ක් වන අතර ඉන් බිලියන 700ක්ම දිළිඳුකමේ පතුලේම සිටිති. මීට බලපාන ප්‍රධාන සාධක කිහිපයකි.

(I) යුද ගැටුම්

(II) ස්වාභාවික විපත්

(III) ආහාර නිෂ්පාදනය අඩාල වීම

අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට මිල්ටන් සුළි කුණාටුවෙන් සිදුවී ඇති හානිය ඉතා බරපතළය. අමෙරිකාව ෆ්ලොරීඩා ජනපදය යථා තත්ත්වයටම ගැනීමට වැඩි අය බරක් මැදපෙරදිග යුද්ධය වෙනුවෙන් ඊශ්‍රායලයට ලබාදීමට නියමිතය. බයිඩන් ජනාධිපතිවරයා කියන ලෙස ඊශ්‍රායලයේ ආත්මාරක්ෂාව ගැන සැලකීම අමෙරිකාවේ වගකීමකි. උප ජනාධිපතිනි කමලා හැරිස් කියන ලෙස අමෙරිකාවේ පරම හතුරා ඉරානයයි.

@ දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *