Latestදේශීය

රන්ජන්ගේ දේශපාලනය ගැරඬියාට භූමිතෙල්

මම දේශපාලනයට එනවා කියලා නිවේදනයක් දුන්නා විතරයි ප්‍රබල දේශපාලන පක්‍ෂ කිහිපයක් ගැරඬියාට භූමිතෙල් ගැහුවා වගේ කලබල වෙලා යැයි එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂයේ නායක රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ සඳහන් කළේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂයේ මංගල රැස්වීමට එක්වෙමින් පෙරේදා (26දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති උත්සවයේදීය.

ශ්‍රී ලංකාවේ මෙතරම් පක්‍ෂ ගණනාවක් තිබියදීත් මං අලුත් පක්‍ෂයක් පිහිටු වීමට හේතුව මගෙන් නොයෙකුත් දෙනා විමසුවා. ඊට හේතු ගණනාවක් තිබුණා.

මං හිරේ ගියේ හොරකම් කරලා, මංකොල්ලකාලා, ස්ත්‍රී දූෂණ කරලා, මිනී මරලා, කුඩු, එතනෝල් ගෙනල්ලා නෙමෙයි. අවුරුද්දකුත් මාස හතක් මං හිරගෙදර නොයෙකුත් දුක්වින්දා.

දූෂණයට එරෙහිව, රාජපක්‍ෂලට එරෙහිව මං හඬ නඟපු නිසා මගෙන් පළිගන්නයි මාව අඟුනකොළපැලැස්ස බන්ධනාගාරයට යැව්වේ. අඟුනකොළපැලැස්ස බන්ධනාගාරය තුළදී මාව ඝාතනය කිරීමේ සැලසුමක් තිබුණා.

ජනතා විමුක්ති පෙරමුණෙ වේදිකාවක් ඉදිරියට ඇවිත් ඔ 56 කින් ප්‍රසිද්ධියේ වෙඩි තියපු නාමල් රාජපක්‍ෂගේ බොඩිගාඩ් හිටපු හිර මැදිරියට මාව දැම්මේ ඒ ඝාතකයන් ලවා මාව ඝාතනය කිරීමට දැයි මට සැකයක් මතු වුණා. මාව හිරගෙදරදී ඝාතනය කරන්න යන බවට මට නොයෙකුත් ආරංචි ලැබුණා.

හිරගෙදරදී ගත්තු අත්දැකීම් එක්ක, ලබපු අත්දැකීම් මත ජනතාවගේ ඉල්ලීම මත රංගනයට තාවකාලිකව සමුදී ජනතාව වෙනුවෙන් දේශපාලනයට ආවේ. හොරු ඉන්න පක්‍ෂවලට මුක්කු ගහන්නේ නැතිව අලුත්ම පක්‍ෂයක් හැටියට එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂය අද ආරම්භ වන්නේ.

අපේ පක්‍ෂයට අපේක්‍ෂකයො තෝරා ගත්තේ පෙනේරයකින් පෙරලා වගේ. සමහරු අහනවා ඇයි පරණ පක්‍ෂ එක්ක එකතු වුණේ නැත්තේ කියලා. මං ඒ පක්‍ෂ එක්ක එකතු වෙන්නේ කොහොමද? මේ පැත්ත හැරෙනකොට කැලෑ කපන එකෙක්, මේ පැත්තට හැරෙන කොට පස් කපන එකෙක් නැති නම් එතනෝල් හොරෙක්, නැත්නම් වැලි හොරෙක්, මෙන්න ඉන්නවා හරක් හොරෙක්, උන් එක්ක ඉන්නකොට කොහොමද මං කියන්නේ මුං ඔක්කොම හොරු මල්ලි කියලා. මට එහෙම කියන්න පුළුවන් ද? ඒකයි අපි නැවුම් පක්‍ෂයක් හදන්න තීරණය කළේ.

වඩුවෙල් සුරේෂ්, තිලකරත්න ඩිල්ෂාන්, අපි එක්ව ගමනක් යන්න තීරණය කළා. අපි ජනතාවගේ ආශීර්වාදයෙන් ආසන එකක් දෙකක් නෙමෙයි ආසන වැඩි ප්‍රමාණයක් ලැබෙනවා කියලා විශ්වාසයි.

මගේ මාමා වන විජය කුමාරතුංග දේශපාලනයට එනවිටත් මේ රටේ හිටපු විධායක ජනාධිපතිවරයා බියට පත්වුණා. නැක්සලයිට් කියලා චෝදනා ගොනු කරල හිරේ යැව්වා.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *