Latestදේශීය

ප්‍රායෝගිකව වැඩකිරීම අපහසු බව ජනාධිපති තේරුම් ගෙන ඇති – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

පසුගිය රජයන් ඉන්ධන මිල සුළු වශයෙන් අඩුකරද්දී ඒ සඳහා දැඩි විවේචන එල්ල කළ වර්තමාන ජනාධිපතිවරයා ද ජනතාවට දැනෙන ලෙස ඉන්ධන මිල අඩු කිරීමට නොහැකිවීම නිසා ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය දැඩි ලෙස අඩුවී ඇතැයි සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (01 දා) දින පැවති මාධ්‍ය හමුවට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේ පැවැසුවාය. එහිදී ඇය මෙසේද කීවාය.

වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා පත්වී මේ වන විට මාසයකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. අලුත් ජනාධිපතිවරයෙක් පත්වුණායින් පසුව ඒ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබිය යුතුයි. නමුත් වර්තමාන ආණ්ඩුව පිළිබඳව ජනතාව සිතන ආකාරය පිළිබඳව අදහසක් ලබා ගැනීමට ඇල්පිටියේ ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් මේ වනවිට හැකියාව ලැබී තිබෙනවා.

ඒ වගේම වර්තමාන ජනාධිපතිවරයා විපක්ෂයේ කටයුතු කරන සමයේදී පෙර පැවැති ආණ්ඩුවල කටයුතු දැඩි ලෙස විවේචනයට ලක් කළ පුද්ගලයෙක්. උදාහරණයක් විදිහට ඉන්ධන මිල සම්බන්ධයෙන්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්, පෝලිං යුගය සම්බන්ධයෙන් තමන්ගේ තීරණය ශක්තිමත් ලෙස පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ පුද්ගලයෙක් තමයි වර්තමාන ජනාධිපතිවරයා. කතා කිරීමට දක්ෂ වූ පමණින්

ප්‍රායෝගිකව වැඩ කිරීමට කෙතරම් අසීරු දැයි වර්තමාන ජනාධිපති අනුර දිසානායක ජනාධිපතිවරයාට අද වනවිට වැටහී ඇතැයි මා විශ්වාස කරනවා.

වර්තමාන රජය ඉන්ධන මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා. නමුත් ජනතාවට දැනෙන ලෙස ඉන්ධන මිල අඩුවෙලා නැහැ. පසුගිය රජයන්වලදීත් මේ ආකාරයටම ඉන්ධන මිල අඩුකරද්දී ඒ සඳහා දැඩි විවේචන පාර්ලිමේන්තුවේදී එල්ල කිරීමට වර්තමාන ජනාධිපතිවරයා කටයුතු කළා. නමුත් අද එය ඔවුන්ට බලපා තිබෙනවා. 2019 දී සිදුවුන පාස්කු ප්‍රහාරය රටේ පැවති මැතිවරණ හතරකදී දැඩි කතාබහට ලක්වන සිද්ධියක් වුණා. එම සිද්ධියේදී රාජකාරිය පැහැර හැරී බවට ශානි අබේසේකර මහතාට, වර්තමාන ආරක්ෂක ලේකම්වරයාටත් චෝදනා එල්ල වෙනවා. ඒ චෝදනාව ඔවුන් දෙදෙනාට එල්ල වන පසුබිමක ඔවුන් දෙදෙනාව තාවකාලිකව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලින් ඉවත්කර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදි පරීක්ෂණයක් නැවත ආරම්භ කිරීමට වර්තමාන රජය කටයුතු කළ යුතුයි. එසේත් නැතිනම් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තා එළිදක්වා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි.

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී නිවැරදි ආණ්ඩුවක්, වෙනසක් ඇති කිරීමට හැකි ආණ්ඩුවක් රට ගොඩ ගැනීමට හැකි ආණ්ඩුවක් පත්විය යුතුයි. ඒ වගේම රට ආර්ථික වශයෙන් වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට හැකි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග හොඳ සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට හැකි දක්ෂ කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානයේ පමණයි. ඉදිරි අවුරුදු කිහිපය ඇතුළත රට ස්ථාවර කිරීමට නිවැරදි ආර්ථික දැක්මක් තිබෙන කණ්ඩායමක් රටේ ආණ්ඩු බලය ලබාගත යුතුයි.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *