ට්‍රම්ප් ජයගනී – ජර්මන් සභාග රජය බිදවැටේ
ජර්මනියේ චාන්සලර් Olaf Scholz විසින් මෙම නොවැම්බර් 6 බදාදා ඔහුගේ ලිබරල් මුදල් අමාත්‍යවරයා වන CHRISTIAN LINDNER නෙරපා හැරීම නිසා එරට තුල උග්‍ර දේශපාලනික අර්බුධයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. යූක්රෙන යුද්ධය හේතුවෙන් දැවැන්ත ආර්ථික අවපාතයක හා රැකියා කප්පාදුවක මෙන්ම ඔහුගේ සභාගය තුල පවතින දේශපාලනික හිරවීම බිඳ දැමීම සඳහා 2025 සැප්තැම්බරයට පෙර හදිසි මැතිවරණයක් පැවැත්වීමට ඒ අනුව වාන්ස්ලර් SCHOLZ තීරණය කර ඇත. ඇමරිකානු මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම හා ඔහු විසින් ඉදිරි වසර කීපය තුල ක්‍රියාත්මක කිරීමට නියමිත ආර්ථික ආරක්ෂණ වාදය හේතුවෙන් යුරෝපා සංගමයේ ප්‍රධාන රටවල් කීපයකම ආර්ථික හා දේශපාලනික අර්බුධ උත්සන්න වීමේ ඉඩ කඩ වැඩිවෙමින් පවතින බවටද විදේශ මාධ්‍ය මේ අතර වාර්තා කර සිටි.
වසර කීපයක සිටම ජර්මනියේ ඇති වී ඇති දේශපාලනික අස්ථාවර භාවය හේතුවෙන් සභාග ආන්ඩුවේ ප්‍රධාන පක්ෂ තුන වන ලිබරල් පක්ෂය(FDP), සමාජ ප්රජාතන්ත්ර වාදී පක්ෂය හා පරිසර පක්ෂය අතර මාස ගනනාවක සිට සිදුවූ ආරවුල් වල ප්‍රථිපල හේතුවෙන් මේ වන විට උග්‍ර ආර්ථික අවපාතයක ගිලී සිටින යුරෝපයේ විශාලතම ආර්ථිකය වන ජර්මනිය පෙර නොවූ විරූ අර්බුදයකට ඇද වැටීමට ඉඩ ඇති බව දේශපාලන විචාරකයින් මේ අතර පෙන්වා දේ. දේශපාලන මතභේද, ආර්ථිකය සහ සංක්‍රමණිකයන්ගේ අර්බුධය, සහ පුද්ගලික ආරවුල් නිසා මාස ගණනාවක් පුරා සභාග ආණ්ඩුව අඩපණ වී තිබිණි. මෙම ගැටුම් හේතුවෙන් මෙම වසරේ පිට පිටම දෙවරක් ආර්ථික අවපාතයේ තර්ජනයට ලක් වීමට ජර්මනියට සිදු වී ඇත.
වාන්ස්ලර් OLAF SCHOLZගේ මෙම තීරණයත් සමග ලිබරල් පක්ෂය(FDP) ජර්මන් සභාගයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. පාලක සභාගය තුල පරිසර පක්ෂය පෘථිවිය උණුසුම් වීමට එරෙහිව නීති කෙටුම් පත් ඉදිරිපත් කිරීමත්, ලිබරල් පක්ෂය විසින් අයවැය හිඟය හා ණය අඩුකර ගැනීම සඳහා සුබ සාධන කපා දැම්මට යෝජනා කිරීමත් නිසා SCHOLZගේ සමාජ ප්රජාතන්ත්ර වාදී පක්ෂය දැඩි පීඩනයකට ලක් වී ඇත. මේ වන විට යුක්රේන යුද්ධය හේතුවෙන් තෙල් හා ගෑස් බල ශක්ති අර්බුධය නිසා විකල්ප ශක්ති ජනනනයන් සෙවීමට සිදු වීම නිසා සභාගයේ පරිසර පක්ෂය හා ලිබරල් පක්ෂය එකවර සතුටු කිරීම වාන්ස්ලර් SCHOLZට අපහසු වී ඇත.
වාන්ස්ලර් SCHOLZට ඉල්ලා සිටින්නේ රජය පිලිබඳ විශ්වාසය පල කිරීම සඳහා යෝජනාව ලබන වසරේ ජනවාරි 15 වැනිදාට ඉදිරිපත් කරන ලෙසය. එහෙත් එය ප්‍රධාන විපක්ෂය වන CDU, ක්‍රිස්ත්‍රියානි -ප්රජාතන්ත්රවාදී පක්ෂය තරයේ ප්‍රතික්ෂේප කරනු ලබන්නේ සුළුතර ආණ්ඩුවක් ගෙන එන යෝජනා වලට සහය දීමට තම පක්ෂය සුදානම් නොමැති බව පවසමිනි.
ජර්මනිය ඇතුළු පැරණි යුරෝපීය මහාද්වීපය මෙසේ දේශපාලනික හා ආර්ථික අර්බුධක ගිලි යන්නේ ලෝකයේ තීරණාත්මක මොහොතක එනම් එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සිදු වී පැය 24ක් ගතවීමටත් පෙරය. මේ සම්බන්ධයෙන් ආර්ථික විශේඥයයන් පවසන්නේ ඇමරිකාව හා යුරෝපා සංගමය අතර ඇති විය හැකි ආර්ථික යුද්ධයක දී ජර්මනියට ඩොලර් බිලියන 180කට වැඩි ආර්ථික අලාභයක් සිදු වීමට නියමිත බවයි.
යුරෝපා සංගමයේ එකම ආර්ථික මෝටරය වන ජර්මනියට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නැවත ධවල මන්දිරයට පැමිණීම නිසා ලෝක වෙලඳපල තුල තම නිෂ්පාදන සඳහා ඉල්ලුම පහත වැටීම සහ යුක්රේනයේ යුද්ධය විසින් ඇතිකරන ලද බල ශක්ති අර්බුධය හේතුවෙන් රටේ දැඩි දුෂ්කරතා උද්දීපනය කරනු ඇත. පාලක සභාගය පුපුරා යාමට මෙම කාරණා ඍජුවම බලපා ඇත.
“ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ජර්මානු ඉතිහාසයේ වඩාත්ම දුෂ්කර ආර්ථික මොහොතේ ආරම්භය සනිටුහන් කරනු ඇත. මන්ද යත් එරට අභ්‍යන්තර ව්‍යුහාත්මක අර්බුදයට අමතරව, බාහිර ආර්ථිකය කඩා වැටීම එරට ණය අර්බුධය හා අයවැය හිඟය ඉහල යාමට බලපානු ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂණ වාදී ආර්ථික ප්‍රතිපත්තිය ජර්මනියේ සහ යුරෝපයේ ආර්ථික වර්ධනයට අහිතකර වන අතර ඇමරිකානු ආරක්ෂණවාදී රේගු බදු සහ ආනයනයන් සීමා කිරීම් මෙය තවත් උග්‍ර කරනු ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ආනයනයික භාණ්ඩ සඳහා වූ සාමාන්‍ය රේගු බදු 10% සිට 20% කින් ඉහළ දැමීමට ඔහු අපේක්ෂා කරන බවයි.
මෙම බදු ඉහල දැමීම ඇමරිකානු එක්සත් ජනපදයට මෝටර් රථ, යන්ත්‍ර උපකරණ සහ ඖෂධ අපනයනය කරන යුරෝපයේ විශාලතම ආර්ථිකය වන ජර්මනියට සෘජුවම බලපානු ඇත. එසේම මෙම ආර්ථික මුලාශ්‍ර ජර්මනියේ දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩක් පමණ ජනනය කරනු ලබයි. ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත තේරී පත්වීම ඔවුන්ගේ ක්‍රියාකාරකම් කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි ජර්මානු නිෂ්පාදන සමාගම්වලින් 44% ක් ඔක්තෝබර් අවසානයේ ඇස්තමේන්තු කර ඇති බව එරට මත විමසුම් සිදු කරන ඉෆෝ ආයතනය පවසයි. කෙසේවෙතත් බදාදා උදෑසන වන විට එරට ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදකයින් වන BMW, porsche, volkswagen සහ Mercedes සමාගම් වල කොටස් ප්රෑන්ක් ෆර්ට් කොටස් වෙළඳපොලේ 5.04% සිට 7.7%තියුනු ලෙස පහත වැටුනි.
එහෙත් ජර්මානු කර්මාන්ත සම්මේලනයේ ප්‍රධානීයා වන සීග්ෆ්රිඩ් රුස්වර්ම් විශ්වාස කරන්නේ “අත්ලාන්තික් සාගරයේ සබඳතා ට්‍රම්ප් ආගමනයත් සමග යුගයේ විශාල වෙනසක අද්දර පවතින බව” කියාය. කෙසේවෙතත් එක්සත් ජනපදය චීනය සමග සිදු කරනු ලබන වෙළඳ යුද්ධයේදී ජර්මනිය ඇමරිකාවේ ප්රමුඛ වෙළඳ සහකරු බවට පත් වීමට හැකියාව ද අමතක නොකළ හැකි බවට ඔහු තව දුරටත් පවසා සිටි. ට්‍රම්ප් පාලනය චීන ආනයනයන් සඳහා 60%ක බද්දක් හා මෙක්ෂිකෝවේ භාණ්ඩ සඳහා 200%ක බදු අයකරන බවට දැනටම අනතුරු හඟවා ඇත.
මෙම ඇමරිකානු රේගු බදු හේතුවෙන් ඩොලරය ඉහළට තල්ලු කරනු ඇති අතර එමඟින් එක්සත් ජනපදයේ සිට ජර්මනියට සිදු කරන ආනයන භාණ්ඩ වල මිල ද අධික ලෙස ඉහල යනු ඇත. එසේම එයට එකට එක කිරීමට යුරෝපා සංගමයෙන් ක්‍රියාත්මක කල හැකි පළිගැනීමේ තීරුබදු නිසා ජර්මනියේ හා යුරෝපා සංගමයේ පාරිභෝගික භාණ්ඩ වල මිල ද ඉහළ යාමට ද හේතු වනු ඇත” යනුවෙන් ජරමානු Commerzbank හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Jörg Krämer ද මේ අතර පවසා සිටි.
මෙහි ප්‍රථිපලය වනුයේ යුරෝ මුල්‍ය කලාපයේ සහ ජර්මනියේ උද්ධමනය 2026 දී සියයට භාගයකින් වැඩි විය හැකි අතර, යුරෝපීය මහ බැංකුවේ පොලී අනුපාත ද ඉහල යාම සිදු වීමෙන් ආයෝජකයින් ඉවත් වීමද සිදු විය හැක. පසුගිය ට්‍රම්ප් පාලන සමයේ එනම් 2020 දී ජර්මනිය හා යුරෝපා සංගමයට යුරෝ බිලියන 127 ක අලාභයක් සිදු වී තිබිණි. ජර්මනියේ කර්න් විශ්ව විද්‍යාලය විසින් ජර්මානු ආර්ථිකය සම්බන්ධයෙන් සිදු කර ඇති වාර්තාවක් මගින් පෙන්වා දෙනුයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ආනයන ගාස්තු 10% කින් වැඩි කළහොත් සහ යුරෝපා සංගමය ඊට සමාන ක්‍රියාමාර්ගවලින් ප්‍රතිප්‍රහාර එල්ල කළහොත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ධූර කාලය තුලදී ජර්මනියට යුරෝ බිලියන 127 කට වඩා දළ දේශීය නිෂ්පාදිතය තුලට අලාභයක් සිදු කළ හැකි බවය.
එම වැඩිවීම් 20% නම්, එය ජර්මානු ආර්ථිකයට යුරෝ බිලියන 180 ක් පාඩුවක් සිදු කරනු ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධවල මන්දිරයේ ගත කල පළමු ධුරයේ වසර හතරක් අවසානයේ දී ජර්මානු දළ දේශීය නිෂ්පාදිතය 1.5% කින් කඩා වැටී තිබිණි.
මේ අතර ට්‍ර්ම්ප් එක්සත් ජනපදයේ එරට සාමාන්‍ය ආර්ථික ආයතන සඳහා අයකරනු ලබන බදු අනුපාතය 21% සිට 15% දක්වා අඩු කිරීමට ද අදහස් කරයි. එය ජර්මනියේ 30% ක අනුපාතයක් පෙන්වයි. විශේෂයෙන් ජර්මනිය දැනටමත් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අරගල කරමින් සිටින බැවින්, ජර්මානු පවුල් ව්‍යාපාර සංගමයට අනුව ඉහළම කාර්මික රටවල් 20 අතුරින්, ආයතනික බදු වලින් ජර්මනිය 18 වන ස්ථානයේ පසු වේ.
මෙම ට්‍රම්ප් ආගමනය හමුවේ ජර්මන් සභාගයේ ලිබරල් පක්ෂය පසුගිය සතියේ කාන්දු වූ ලේඛනයක සාරාංශ කර ඇත්තේ බලශක්ති අර්බුධය, බදු, විරැකියා ප්රතිලාභ, සංක්‍රමණික අර්බුධය සහ විශ්‍රාම ගැනීම සම්බන්ධව උග්‍ර ලිබරල් යෝජනා ඉදිරිපත් කරමින් සමාජ -ප්රජාතන්ත්රවාදී සහ පරිසරවාදී හවුල්කරුවන්ගේ ජනතා හිතකාරී වැඩසටහන්වල වලට සෘජුවම පහර දෙමිනි.
ට්‍රම්ප් පාලනය ඉදිරියේ යුරෝපා සංගමයට එකමුතුකම අවශ්‍ය වන අතර, ජර්මනියේ දේශපාලන අවුල් සහගත තත්වය යුරෝපා සංගමයට ඉතාමත් නරක ප්‍රථිපල අත්පත් කර දෙනු ඇතැයි ආර්ථික විශාරදයන් පෙන්වා දේ.
“යුරෝපයට ජර්මනිය මත විශ්වාසය තැබිය හැකි විය යුතු අතර, ජර්මනිය යුරෝපයට එක හඬකින් සහාය දිය යුතුය” යයි අද පස්වරුවේ ජර්මානු ආර්ථික අමාත්‍ය රොබට් හැබෙක් මාධ්‍ය වෙත පවසා සිටියේය.
මේ අතර Olaf Scholz ලහි ලහියේ රටේ පඩි වැඩි කිරීම, සංක්‍රමණික අර්බුධය විසඳීම, කාර්මික කරණය සම්බන්ධයෙන් නීති පාර්ලිමේන්තුව තුල සම්මත කර ගැනීමට තීරණය කර ඇත්තේ මැතිවරණයට පෙර ඔහුගේ ජනප්‍රියතාවය වැඩි කර ගැනීමට යයි ලිබරල් විපක්ෂය CDU චෝදනා කරයි. නමුත් ඒ සඳහා සබාගයට චන්ද 367ක් අවශ්‍ය වුවත් ලිබරල් පක්ෂය ඉවත්වීම නිසා ඇත්තේ 324ක් පමණි. ඒ සඳහා සභාගයට විපක්ෂයේ සිටින රැඩිකල් වාමාංශික පක්ෂයක් වන LINKE පක්ෂයේ සහයද අනෙකුත් කුඩා පක්ෂවල ද සහය අත්‍යවශ්‍ය වේ. ජර්මන් පාර්ලිමේන්තුව වන Bundestag හි තේරී පත් වූ නියෝජිතයින් 2025 සැප්තැම්බර් මාසයේ නියමිත දිනට පෙර ඉක්මන් ව්‍යවස්ථාදායක මැතිවණයක් පැවැත්වීමට අවශ්‍යද යන්න ජනවාරි 15 දින තීරණය කල හැකි බවත් මැතිවරණය 2025 මාර්තු මාසයේදී පැවැත්වීමට දින නියම වනු ඇතැයි Olaf Scholz ඒ අතර පෙන්වා දේ.
එහෙත් ඉක්මන් මැතිවරනයකදී ලිබරල් කොන්සර්වේටිව්වරු(CDU) ඡන්ද විමසීම් වලින් බොහෝ ඉදිරියෙන් සිටින බව පැවසෙන අතර ඔවුන්ගේ නායක ෆ්රෙඩ්රික් මර්ස් චාන්සලර් ධූරය ලබා ගැනීම සඳහා සුදුසු කම් දක්වා තිබේ. එසේම නාසි වාදී අන්ත දක්ෂිණාංශික AFD පක්ෂය පසුගිය මැතිවරණවලදී ශක්තිමත් ප්‍රගතියක් අත්කර ගනිමින් ජර්මනියේ මැතිවරණ සටනේ දෙවන ස්ථානයේ රැඳී සිටින අතර ඔවුන් අන්ත ජාතිවාදී රජයක් බිහි කිරීමට සැදී පැහැදී සිටි. නාසිවාදී පක්ෂය වන AFD පක්ෂය සමග හවුල් රජයක් බිහි කිරීම ෆෙඩ්රික් මර්ස් විසින් මේ අතර තරයේ ප්‍රතික්ෂේප කරන නිසා ලබන වසරේ මැතිවරණයේදී ද නැවත වරක් ජර්මනියේ සුළුතර රජයක් බිහිවීම වැළැක්විය නොහැක.
@Lanka Truth