රෂී ප්‍රභා රත්වත්තේ දෙසැම්බර් 02 දක්වා රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිය වන රෂී ප්‍රභා රත්වත්තේ මහත්මිය දෙසැම්බර් මස 2 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය විජේසිංහ මහතා ඊයේ (22) නියෝග කළේය.
රක්ෂිත බන්ධනාගාරයේ සිටි ඇය බන්ධනාගාර නිලධාරින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (22) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය සිදු කෙරිණි. එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගත යුතු වන බවත් එම ප්‍රකාශවලට අනුව විමර්ශන සිදු කර ඔවුන්ට එරෙහිව නඩු පවරනවා ද නැද්ද යන්න අධිකරණය දැනුම්වත් කරන බව ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය රේගු අධ්යක්ෂ නීතිඥ ක්‍රිෂාන්ත තන්ත්‍රිගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
එහිදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විදුර මංචනායක මහතා කියා සිටියේ, අදම ප්‍රකාශයක් ලබාදිය හැකි බවය. ඒ අනුව නඩුව ලබන සඳුදා කැඳවන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙටි දිනයකින් නඩුව කැඳවීමෙන් ප්‍රතිඵල ලබාගත නොහැකි බව කියමින් මහේස්ත්‍රාත්වරයා ඇය තවදුරටත් ලබන 02 වැනි දා දක්වා බන්ධනාගාරගත කරන ලෙසත් නියෝග කළේය.
නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෂී ප්‍රභා රත්වත්තේ මහත්මිය හා ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාරගතව සිටිති.
ඔවුන් දෙදෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 18වැනිදා ඉදිරිපත් කරනු ලැබූ අතර, එහිදී දෙදෙනාගේම ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා දෙසැම්බර් 02 දා දක්වාත් ඔහුගේ බිරිය ඊයේ දක්වාත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබිණි.
@දිනමිණ