Latestදේශීයනවතම ලිපිමතවාද

හිමිකරු නැති යතුරුපැදියකට සාක්ෂි දිය නොහැක

මීට වසර 13 කට පෙර 2011 දෙසැම්බර් 13 වැනිදා යාපනය නීර්වේලි ග්‍රාම නිලධාරි වඩිවේල් ෂන්මුගම් මහතාට අතහැර දමා ගිය යතුරුපැදියක් පිළිබඳ තොරතුරක් ලැබිණි. එය පේදුරුතුඩුවේ සිට යාපනය දක්වා දිවෙන මාර්ගය අසළ අත්හැර දමා තිබූ බව ගම්වාසීහු ඔහුට දන්වා සිටියහ.

මේ අතර, මුරුගනාදන් ජනතා, දින කිහිපයකට පෙර නිවසින් පිටව ගොස් නොපැමිණි සිය සැමියා සොයා නොඉවසිලිමත්ව සිටියාය. යුද සමයේදී උතුරේ වැසියන්ට අතුරුදන්වීම් සාමාන්‍ය තත්ත්වයක් වූ නමුත් දෙසැම්බර් 09 වැනිදා සවස සිය මිත්‍රයකු වන ලලිත් කුමාර් සමඟ නිවසින් පිටව ගිය කුගන් මුරුගානන්දන් නමැති සිය සැමියා දින තුනක් ගතවී ඇතත් ආපසු නිවසට නොපැමිණීම ගැන එක් දරු මවක් කම්පාවට පත්ව සිටියාය. ඇය එදින රාත්‍රියේ ඔහුගේ ජංගම දුරකථනය ඇමතුවේ ඔහු සිටින ස්ථානය සහ ඔහු ප්‍රමාද වන්නේ මන්දැයි විමසීමේ බලාපොරොත්තුවෙන් නමුත් එයින් පලක් වූයේ නැත. ආ ගිය තොරතුරක් නොමැති ලලිත් සහ කුගන් දෙදෙනා ගැන තොරතුරු විමසීමට කොළඹ සිට සහෝදරවරු කිහිප දෙනෙක් තම නිවසට පැමිණීම ගැන ඇය බොහෝ කනස්සල්ලට පත්ව සිටියාය. කොළඹ ප්‍රදේශයෙන් පැමිණ සිටි ලලිත්, යුද සමයේදී අතුරුදහන් වූවන් සෙවීමට උත්සාහ කරමින් සිටි අතර, ඒ සඳහා කුගන් තම උපරිම සහයෝගය ලබා දුන්නේය.

උතුරට, නැගෙනහිරට අතුරුදන් වූවන් පොදු ප්‍රශ්නයක් වන අතර එහිදී බොහෝ දෙමළ තරුණයන් සහ ඇතැම් විට වයෝවෘද්ධ පුද්ගලයන් ආරක්ෂක අංශ විසින් හෝ දෙමළ කැරලිකරුවන් විසින් අත්අඩංගුවට ගෙන හෝ පැහැරගෙන ගොස් ඇත. පසුකාලීනව සමීපතම ඥාතීන්ට පවා ඔවුන් ගැන තොරතුරක් නැත.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී මෙන්ම 1980 දශකයේ ජවිපෙ කැරැල්ලේදීද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අතුරුදන් කරවා ඇත. දරුවන්, කාන්තාවන් ඒ අතර විය. දහස් ගණන් මිනිසුන් සන්නද්ධ පුද්ගලයන් විසින් පැහැරගෙන ගොස් හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් කර ඇති ආකාරය කොමිෂන් සභා ගණනාවක් විසින් වාර්තා සටහන් කර ඇත. වින්දිතයන් බොහෝ දෙනා ලාංකීය සුළුතර දෙමළ ප්‍රජාවට අයත් වන අතර 1987-89 අරගල සමයේදී සිංහල ප්‍රජාවේ දහස් ගණනක් සිංහල තරුණයින්ද ඒ අතර වේ. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට්ස් වොච් සහ ආසියානු මානව හිමිකම් කොමිසම වැනි මානව හිමිකම් කණ්ඩායම් විසින් වාර්තා කළ අතුරුදහන්වීම් බොහොමයකට ආරක්ෂක හමුදා, රජයට හිතවත් පැරාමිලිටරි කණ්ඩායම් සහ දෙමළ සටන්කාමී කණ්ඩායම් වගකිව යුතු බව සටහන්ව ඇත.

1999 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ලංකාව, ලෝකයේ අතුරුදන්වීම් සංඛ්‍යාවෙන් දෙවන ස්ථානයට පත්ව ඇති බවත් ආරක්ෂක අංශ විසින් රඳවා තබා ගැනීමෙන් පසු ශ්‍රී ලාංකිකයන් 12,000 ක් අතුරුදහන් වී ඇති බවත්ය. යුද්ධය හේතුවෙන් 17,000 ක් අතුරුදහන් වී ඇති බවට යුද සමයේදීම ලංකා රජය විසින් ගණන් බලා තිබුණි. 2003 වසරේ රතු කුරුස සංවිධානය ප්‍රකාශ කළේ සිවිල් යුද්ධයේදී අතුරුදහන්වීම් පිළිබඳ පැමිණිලි 20,000ක් ලැබී ඇති අතර ඉන් 9,000ක් සම්බන්ධ කටයුතු අවසන්කර ඇති නමුත් ඉතිරි 11,000 සම්බන්ධයෙන් තවමත් විමර්ශනය වෙමින් පවතින බවයි.

2016 දී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ රජය සිවිල් යුද්ධය සහ 87-89 නැගිටීම අතරතුර අතුරුදහන් වූ අතුරුදහන්වූළුන් 65,000 කට අධික පිරිසකගේ දේපළ හා වත්කම් තාවකාලිකව කළමනාකරණය කිරීමට ඥාතීන්ට ඉඩ සලසමින් තාවකාලික භාරකාරත්වය ලබා දීමටත් ඔවුන්ගේ දරුවන්ට රජයේ සුබසාධන යෝජනා ක්‍රම සඳහා අයදුම් කරන්න අවස්ථාවදීමටත් එකඟ විය. තවද අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් (OMP) එම වසරේම පිහිටුවන ලදී. 1980 දශකයේ අග භාගයේ සිට ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූ පුද්ගලයන් 60,000 ත් 100,000 ත් අතර විය හැකි බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය 2017 දී වාර්තා කළේය.

2020 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තහවුරු කළේ සිවිල් යුද්ධයෙන් අතුරුදන්වූවන් සැබවින්ම මිය ගොස් ඇති බවයි. බොහෝ පැහැරගැනීම්වල කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ අංක තහඩු නොමැති සුදු වෑන් භාවිත කිරීමයි. සුදු වෑන් පැහැරගැනීම් යාපනයේ ජීවිතයේ කොටසක් වූ අතර, ඇඳිරි නීතිය පනවා තිබූ කාලසීමා තුළ පවා පැහැරගැනීම් සිදු විය.

2008 දී කොළඹදී ද තරුණයන් කිහිප දෙනෙකු සුදු වෑන්වලින් පැහැරගෙන ගියහ. වින්දිතයන්ගේ පවුල්වල අය එම පැහැරගැනීම් සම්බන්ධයෙන් එවකට නාවික හමුදාපතිවරයාට සහ ගෝඨාභය රාජපක්ෂට චෝදනා කළහ.

ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරා ද වන ගෝඨාභය රාජපක්ෂ “සුදු වෑන් පැහැරගැනීම්”වලට මූලික වූ බවට චෝදනා ලැබූ අතර එම පාලන සමයේදී විවේචකයන් සහ විරුද්ධවාදීන් එවැනි මර්දනකාරී පියවර හරහා නිහඬ කළ බවට චෝදනා එල්ල වේ. කෙසේ වෙතත් සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැරගෙන යන බවට චෝදනා එල්ල වන විට එවැනි සිදුවීම්වලට ලක්වන්නේ අපරාධකරුවන් බවට ගෝඨාභය රාජපක්ෂ පිළිතුරු ලබා දුන් බව වාර්තා විය.

@උපුටා ගැනීම Front Line Socialist Party Facebook පිටුව

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *