අපක්ෂපාතීව සැමටම යුක්තිය ඉටුකරනවා – අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
(ඒ.ජේ.ඒ්. අබේනායක)
සෑම ප්රජාවකටම යුක්තිය එකසේ වැදගත් සාධකයක් වන බැවින් ජාති ආගම් හෝ අනෙකුත් භේදයකින් තොරව අපක්ෂපාතීව යුක්තිය සැමටම ඉටුකිරීමට වගබලා ගන්නේ යැයි නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය විනිවිදභාවයකින් හා අපක්ෂපාතිව ඉටුකළ යුතු වන්නේ යැයි ද පැවසූ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අධිකරණය යනු අයුක්තිය පරාජය කොට රට තුළ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට පෙනී සිටින යාන්ත්‍රණය වන්නේ යැයි ද පැවසුවාය.
නව අගවිනිසුරු ලෙස පත්වූ මුර්දු ප්‍රනාන්දු මහත්මිය පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය ඊයේ (10දා) කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙස පත්වීම පිළිබඳව තමන් සතුටට පත්වන්නේ යැයි ද එහිදී සිය දේශනය පවත්වමින් පැවසූ මුර්දු ප්‍රනාන්දු මහත්මිය, අධිකරණ පද්ධතියේ ගෞරවය ආරක්ෂා කරමින් අපක්ෂපාතීව හා නිවැරැදි ලෙස යුක්තිය ඉටුකිරීමට තමන් කැපවන බව ද පැවසුවාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු අධිකරණයේ නිර්මාතෘවරයා මෙන්ම භාරකරුවා වන්නේ යැයි ද සිය දේශනය මගින් පෙන්වා දුන් මුර්දු ප්‍රනාන්දු මහත්මිය, මෙම අවස්ථාවේදී සිය දෙමාපියන්, පවුලේ ඥාති මිත්‍රාදීන් හා හිතවතුන් තමන් අධ්‍යාපනය ලැබූ වේල්ස් කුමරි විද්‍යාලය හා නීති විද්‍යාලයත් සිහිපත් කරන බව ද පැවසුවාය. වසර තිහකට වැඩි කාලයක් තමන් සේවය කළ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හා සෙසු විනිසුරුවරුන්ටත් සිය ප්‍රණාමය පුද කරන බවත් ඇය පැවසුවාය.
@දිවයින